Sunday, September 22, 2013

රස්තියාදුකාරයා එරල් වෙත..



දැන් ඉතින් යුක්රේනෙට යන්නත් එපැයි . ඉතින් ම ඇ කලින් කිව්වා වේ යුක්රේනෙට යන්න හදන්නේ ගොඩබිමින්.ගොඩබිමින් යනව නම් යුක්රේනෙට කිලෝමීටර් 4400 ක විතර දුරක් තියෙනව.දේශසීමා ගැටළුවක් නැති නිසා මම තෝරගත්තෙ ආටා අධිවේගී මාර්ගය.
මේ මාර්ගයේ ගමන් කරන්නෙ දිගු දුර ධාවනය වන වාහන විතරමයි. ඉන්ධනහල් දෙකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 200ක-250ක  විතර දුරකින් පිහිටලා තියෙනව.මාර්ගය අවටින්ම විහිදෙන්නේ හිස් ජනශුන්‍ය ස්ටෙප් තෘණ  භූමියක්.මේ මාර්ගය භාවිතා කරන ඕනෙම පුද්ගලයක් ට සාමාන්‍යයෙන් දවස් 4 ක විතර කාලයක් යුක්රේනය වෙත ගමන් කරන්න ගත වෙනව.සංචාරකයින් අතර වැඩියම ප්‍රචලිත නොවුනත් මේ මාර්ගය බහුලව භාවිත වෙන්නෙ කන්ටේනර් ප්‍රවාහනය කරන්න.ඒ වගේම මේ මාර්ගයේ ගමන් කරන කන්ටේනර් රථ  දැඩි ලෙස දේශ  සිමා මුරපළවල් වලදී පරික්ෂාවට ලක්වෙනව. රස්තියදුකාරයාට දැනගන්න ලැබුන විදිහට අනවසර සංක්‍රමණිකයින් අතර වගේම හොර බඩු ජාවාරම්කරුවන් අතරත් මේ මාර්ගය අතිශය ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනව.
ශිමටුසා හි විල්ලුවක්


බැටළු පට්ටියක අයිතිකරුවෙක්





තමන්ගේ කියල වාහනයක් නැති පුද්ගලයක් මේ මාර්ගය හරහා ගමන් කරන්න බලාපොරොත්තු වෙනව නම් ඒ පුද්ගලයාට ආටා මාර්ගය තරණය කරන්න අනිවාර්යෙන් කන්ටේනර් රථයකට ගොඩවෙන්න සිද්ධ වෙනව.මේ වෙනුවෙන් ඒ අදාල පුද්ගලයාට කන්ටේනර් රථ ප්‍රවාහන සමාගමින් අවසර ගන්න සිද්ධ වෙනව.
                                                   ***********
ශිමටුසා කියන්නේ බොහොම කුඩා ප්‍රාථමික මට්ටමේ ගමක්.මේ ගම අල්මා-ආටා වල ඉඳන් කිලෝමීටර් 800ක විතර දුරකින් පිහිටලා තිබෙනව.අල්මා-ආටා වලින් සමුගෙන රස්තියාදුකාරයා ඉක්මනින්ම ශිමටුසා වෙත පිටත් වුනා.
අධිවේගී මගට ආසන්න එක පිවිසුමක් පිහිටලා තිබුනේ ශිමටුසා කියන ගමට නුදුරෙන්.මේක නිසා රස්තියාදුකාරයා තෝරාගන්න අදහස් කරපු කන්ටේනර් ප්‍රවාහන සමාගමේ පුංචි පහේ කාර්යාලකුත් මේ ගමේ කඩවිදියක පිහිටලා තිබුන.කාර්යාලයේ සේවයට හිටිය වයසක මහත්මය  ලබාදුන්නු ෆෝර්ම් කෑල්ල පුරවන්න ගත්තු රස්තියාදුකාරයාට කුතුහලයක්   ඇතිකළ කරුණක් මුණගැහෙන්නෙ ෆෝරමය පුරවාගෙන යන අතරේදි.
                
                       “ඔබගේ ලිංගික ආකර්ෂණීයත්වය සඳහන් කරන්න”

ෆෝරමයේ තිබුනේ පුංචි කොටුවක් මැද්දෙන් හරි ලකුණක් යොදල අදාල කරුණ සම්භන්ධයෙන් තහවුරු කිරීමක් කරන්න.රස්තියාදුකාරයා සමලිංගිකයෙක් නොවන නිසා , අදාල තෝරාගැනීම සිදු කරලා, නිවැරදිව ෆෝරමය පුරවල කාර්යාල මහත්මයාට ගෙනිහින් බාර දුන්න.ඒ වෙනකොටත් රස්තියාදුකාරයාට ෆෝරමය ගැන පොඩි පහේ ගැටළුවක් ඇතිවෙලා තිබුණු නිසා කෝකටත් කියල කාර්යාල මහත්මයා ගෙන් මේ ගැන විමසන්න තීරණය කළා.
කාර්යාල මහත්මයා කියපු විදිහට ලිංගිකත්වය පිලිබඳ ගැටලුව කන්ටේනර් රථ ප්‍රවාහනය කරන රියදුරන් ගැන ඇති වුනු ගැටළුවක්.මේ දිගු ගමන එක දිගට මිනිස් පුළුටක් නැති පළාතක් හරහා යනව.සරලව කිව්වොත් ඒ අදාළ සංචාරකයා කන්ටේනර් රථ රියදුරෙක් සමග දවස් හතරක් තනිවෙනව.ඉතින් එතකොට රියදුරා සමලිංගිකයෙක් වෙලා සංචාරකයා විෂම ලිංගිකයෙක්  වුනොත්....
රස්තියාදුකාරය ලබපු අත්දැකීමේ හැටියට මිනිස් පුළුටක් නැති පලාතක් හරහා රියදුරෙක් එක්ක ගමනක් යනව කියන එක සෑහෙන්න බැරෑරුම් කාර්යයක්.කාර්යාලයේ අයිතිකාර මහත්මය කියපු විදිහට බොහොමයක් ට්‍රක් රථ රියදුරන් සමලිංගිකයින්.වැරදිලාවත් සමලිංගිකයෙක් නොවන පුද්ගලයෙක් සමලිංගිකයෙක් එක්ක දවස් හතරක් තනි වුනොත්.! ඊළඟට රස්තියාදුකාරයාට තව ගැටළුවක් ඇතිවුණා.ඒ කාන්තාවන් ගැන.හදිස්සියෙවත් කාන්තාවක් ආටා මාර්ගය තරණය කරන්න රස්තියාදුකාරයා ගේ ක්‍රමය භාවිත කලොත්?
කාර්යාල මහත්මය කියපු විදිහට , ඔහු වාචිකව අදාළ කාන්තාවගෙන් අදාළ කරුණ ගැන විමසීමක් කරනව. “ඔබට අපි සාමාන්‍ය රියදුරෙක් ලබාදුන්නොත් ඔහුත් සමග බොහෝදුරට ලිංගිකව එකතුවීමක් සිද්ධ වෙන්න පුළුවන්.ඔබට එය අනවශ්‍ය වුනත් රියදුරන් ඔබෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.ඔබ එකට එකඟද?”
අදාල කාන්තාව අකමැත්තක් පල කලොත් , ඇයගේ රියදුරා වෙන්නේ කාන්තාවන් එපා කරපු සමලිංගික රියදුරෙක්!.ඒ වගේම අසහනකාරී “සාමාන්‍ය” රියදුරන් නිසා කාන්තාවන්ට සිදුවන අකරතැබ්බ වලට සමාගම  වග නොකියන නිසා , අදාළ කාන්තාවගෙන් සමාගම ලිඛිතවත් ප්‍රකාශයක් ලබාගන්නව.කොහොම වුනත් කාර්යාල මහත්මය කියපු විදිහට ආටා මාර්ගය භාවිතා කරන සංචාරක කාන්තාවන්ගෙන් 95% ම සමලිංගික රියදුරන් තෝරා නොගන්නා අය!.
ආටා අධිවේගී මාර්ගයේ යන මගියෙක් ගෙන් අදාළ සමාගම ඇමරිකානු ඩොලර් 150 ක අයකිරීමක් කරනව.අදාළ මුදල ගෙවුව ගමන්ම කාර්යාල මහත්මය කරන්නෙ ඔවුන්ගේ ලොග් පොත බලල ලිංගික විපර්යාසය අනුව රියදුරෙක් ව තෝරාගන්න එක. රස්තියාදුකාරයා ට නියමිත වුනේ ඉට්ෂු ස්වාසිනගර් කියන රියැදුරාව.අදාළ දවසේ හවසම ගමන පිටත් වෙන්න නියමිත වෙලා තිබුනත් අනපේක්ෂිත විදිහට ගමන දවස් හයකින් කල් දමන්න සිදුවුණා.ස්වාසිනගර් රියදුරු මහත්මයාගේ නෝන උන්නැහැට නිවුන් කොලුපැටව් දෙන්නෙක්ම දුන්න කියල තමයි කාර්යාල මහත්මය නම් කිව්වේ.ඉතින් දවස් හයක් කොරන්න වැඩකුත් නැති නිසා රස්තියාදුකාරයා හිතුවා අපහු කොහෙට හරි සුපුරුදු රස්තියාදුව දමන්න....


එළුවෙක්

ශිමටුසා හි ගැමි නිවෙසක්

නිදහසේ තණ උලාකන ඔටුවන්

                                                



                                        එරල් මුහුද සහ අපුරු සිත්තරුන්

කසකස්ථානය තමයි ලෝකයේ නමවෙනියට විශාලම රට.ඒ වගේම ඇය ලෝකයේ ප්‍රධාන  දේශගුණ කලාප හතරක් හරහා විහිදුනු රටවල් අතලොස්සෙන් කෙනෙක්.එකට බොහෝදුරට බලපෑම් කරන්නෙ කසකස්ථානයේ ආසියානු මහද්වීපයට සාපේක්ෂ  පිහිටීම.කසකස්ථානයේ උතුරු මායිම සම්පුර්ණයෙන්ම ආවරණය වෙන්නේ රුසියාවෙන්.නැගෙනහිරින් චීනය , තක්ලමකාන් කතර වගේම තරීම් ද්‍රෝණියෙනුත් ආවරණය වෙනව, දකුණින් උස්බෙකිස්ඨාන කර්ගිස්ථාන මායිම් වලිනුත් එරල් මුහුදිනුත් බටහිරින් රුසියානු දේශසීමා වගේම කැස්පියන් මුහුදෙනුත් ආවරණය වෙලා   තිබෙනව.කසකස්ථාන උෂ්ණ කලාපය ප්‍රධාන වශයෙන්ම විහිදෙන්නේ කැස්පියන් එරල් මුහුදු මායිම් ආවරණය වුනු මැදපෙරදිග කලාපය හරහා.
කැස්පියන් සහ එරල් කියන්නේ අභ්‍යන්තර මුහුදු වලට.මේවා රට අභ්‍යන්තර වෙන්න පිහිටලා තිබෙන විශාල භූතලය මත පැතිරුණු ජලස්කන්ධ විදිහටත් හඳුන්වන්න පුළුවන්.
එරල් මුහුද ක්‍රමයෙන් වියැකීම (c) Amuzing Planet
                                                ***********
ආටා අධිවේගී මගට ආසන්න ශි-ම-ටුසා  කියන ගමෙන් කිලෝමීටර් 150 විතර දුරින් පිහිටලා තිබෙනව රස්තියාදුකාරගේ තාවකාලික ගමනාන්තය විදිහට තෝරාගත්ත එරල් මුහුද.
එරල් මුහුද කියන්නේ සීග්‍රයෙන් සිඳී යන මුහුදක්.නැත්නම් සරලව කිව්විත් දැනට වර්තමානයේ ඉතිරි වෙලා තියෙන්නෙ අතීත එරල් මුහුදින් සියයට දහයක විතර ප්‍රමාණයක්.ඒකට මුලික ම හේතුව විදිහට සෝවියට් සමුහාණ්ඩුව සැලසුම් කරපු එක්තරා විදිහක අදුරදර්ශී ව්‍යාපෘතියක් දක්වන්න පුළුවන්.එරල් මුහුද රට අභ්‍යන්තරයේ පිහිටි මුහුදක් නිසා ප්‍රධාන වශයෙන්ම පෝෂණය වෙන්නේ ගංගා ජලයෙන්.රුසියාවේ අමු ඩාර්යා වගේම සු-ඩාර්යා ගංගාවෙත් අන්තය තමයි මේ එරල් මුහුද.
අමු සහ සූ ගංගාවන් පදනම්  කරගෙන අසුව දශකයේ සෝවියට් ව්‍යපෘතියක ආරම්භය සටහන් වුනා. ඒ ව්‍යාපෘතියේ ඉලක්කය  වුනේ තක්ලමකාන් කතර අස්වැද්දීම.කාන්තාරයක් අස්වැද්දීම මොනතරම් අපහසු දෙයක්ද?.එහෙම වුනත් ඔවුන් සැහෙන්න පරිශ්‍රමයක් දරල අන්තිමේදී සාර්ථක වුනා.ඒ වෙනුවෙන් සෝවියට් වාරිමාර්ග ඉංජිනේරුවන් , කම්කරුවන්  බොහොම සුක්ෂමව අමු සහ සූ ගංගා වල ගමන් මග වෙනස් කළා.අන්තිමේදී තක්ලමකාන් නිම්නයක් වෙද්දී සශ්‍රික එරල් අවට ප්‍රදේශය හිස් ලවනාධික මුඩුබිමක් බවට පත්වෙන්න පටන් ගත්ත.
දැනට ඉතිරි වෙලා තියෙන්නෙ අතීත එරල් මුහුදෙන් සියයට දහයක ප්‍රමාණයක් විතරයි. රස්තියාදුකාරයාට හිතෙන විදිහට 2020  විතර වෙනකොට එරල් කියන නාමය චායරුප වලටත් හුදෙකලා විෂ සහිත විල්ලු වලටත් සිමා වෙයි.භෞතික පිහිටීම සැලකුවොත් එරල් කියන්නේ නොගැඹුරු කාන්තාර මුහුදකට.ඇයගේ උපරිම ගැඹුර මීටර් 68ක් තරම් ඇති.හැටේ දශකය වෙකොට මේ මුහුදේ ලවනතාව 1% ක විතර නිශ්චිත අගයක පැවතිලා තිබිල තියෙනව.එරල් විනාශ වෙන්ට හේතුවුණු සැලසුම් වලට කලින් ඇයගේ විශාලත්වය වර්ග කිලෝමීටර් හැට හතර දහසත් ඉක්මවා තිබෙනව.ඒ වගේම එරල් මුහුදේ මහද්වීපික පිහිටීම සැලකිල්ලට ගත්තොත් , ඇය කසකස්ථාන හා උස්බෙකිස්ථාන පහත්බිමේ වලක් හැටියට පිහිටා තිබීම හඳුනා ගන්න පුළුවන්.අතීතයේදී මෙම ප්‍රදේශය ක්ෂේමභුමියක් විදිහටත් මුලාශ්‍ර වල හඳුනා දී තිබෙන්න ඇයගේ පිහිටීම හේතුවෙන්න ඇති බවක් තමයි රස්තියාදුකාරගේ බිරිඳ නම් කිව්වේ.
එරල් කියන්නේ කසකස්ථාන ගෝත්‍රික භාෂාවෙන් බිඳුණු කොටසක්.මේකෙ ඉංග්‍රීසි තේරුම ගත්තොත් එරල් කියන්නේ දුපත(Island) කියන අර්ථයෙන් යුතුව.මේ මුහුද මධ්‍යයේ කුඩා දුපත් සියගානක් පිහිටා තිබීම නිසා පැරණි ගෝත්‍රිකයන් “දුපත් මුහුද” කියන අර්ථයෙන් හඳුන්වන්න ඇතිබවක් තමයි බයිබලයේ පරණ තෙස්තමේන්තුව උදාහරණයකට අරගත්තු  රස්තියාදුකාරගේ බිරිඳ සඳහන් කළේ.අතීත සේදමාවතේ ප්‍රධාන සන්ධිස්ථානයක් විදිහටත් එරල් ආශ්‍රිත ප්‍රදේශය දක්වන පලුවන්.මේ හේතුව නිසාම මේ ප්‍රදේශය මත්ස්‍ය වෙළඳාමට වගේම ඔටුකිරි  ආශ්‍රිත නිෂ්පාදන වලට බොහෝම ප්‍රසිද්ධියක් දරල තිබෙනව.මත්ස්‍ය විශේෂ විසිදෙකක් වගේම තුන්දාහකට අසන්න ධීවර ජනතාවක් හැටේ දශකය ගෙවී යන අතරතුරේදී මේ පළාතෙ තමන්ගේ රැකියාව කරගෙන ඉඳල තිබෙනවා.
වර්තමානයේ දී අධික ලෙස අපිරිසිදු වුන පරිසරයක් විදිහට එරල් අවට ප්‍රදේශය පරිසර සංරක්ෂකයින් අතර ප්‍රසිද්ධයි.මෙතැනදී අපිරිසිදු වීම ස්වභාවිකව සිදුවුණු දෙයක්.නමුත් ඒකට වක්‍රාකාර හේතුව කලින් රස්තියාදුකාරයා සඳහන් කල සෝවියට් සැලසුම.  දැනට සිඳුණු එරල් ආශ්‍රිත ප්‍රදේශය ඇති විශාල ලුණු සහ විෂ දුහුවිලි තැන්පතු වලින් පොහොසත්.මේ පළාතේ ජිවත් වෙන මිනිස්සු පිරිසිදු පානිය ජාල අවශ්‍යතා නැති කමින් සැහෙන්න විඳවනවා.ඒ වගේම ඇඳුම පිළිකා වකුගඩු රෝග වගේ ගැටළුසහගත තත්ත්ව වලිනුත් පිඩා විඳිනව. ඒවගේම සිඳුණු එරල් ආශ්‍රිත ප්‍රදේශය සීග්‍රයෙන් කාන්තාරකරණය වෙමින් පවතින නිසා මේ පළාතේ ජනතාව සැහෙන්න දුක්ගැහැට විඳිමින් ජීවත්වෙනවා.
මේ පළාතේ දේශගුණය ගැන සැලකුවොත් එක බොහෝදුරට අපේ රටේ හම්බන්තොට , ත්‍රිකුණාමල වෙරළබඩ තැන්නේ දේශගුණයට අසන්න බවක් දකින්න පුළුවන්.වියලි ශුෂ්ක පරිසයට අනුවර්තනය වුනු ලඳු කැලෑ වගේම ලවන අධික පරිසර කලාප වල දකින්න පුළුවන් කඩොලාන පවුලේ ශාක වලිනුත් මේ පළාත පොහොසත්.ඒ වගේම විවිධ පරිසර සංවිධාන වලින් ආරම්භ කරලා තිබෙන විෂ ද්‍රව්‍ය උරා ගන්නා ශාක සිටුවීමේ ව්‍යාපෘති වලින් ආරම්භ කරපු ශාක ගහනයකුත් මේ පළාතේ සැරිසරන ඕනෑම රස්තියාදුකාරකට දකින්න පුළුවන් දෙයක්.  

ලවනාධික විල්ලු

සිප්පි කටු








........ කොහොමින් කොහොමින් හරි එරල් වලටත් ළඟා වුනා කියමුකෝ. ඉතින් මේ පළාත කියන තරම් සංචාරකයන්ට අගුණ නැහැ වගේ.අමුතුම සංස්කෘතියක් ,අමුතුම භාෂාවක් ; මේ හැම දේකම පොඩි ගතියක් තියෙනව කියලා රස්තියාදුකාරයාට හිතෙනව. ශීතල දේශගුණේක ඉඳල මේ වගේ උෂ්ණ කලාපෙකට ඇතුල් වුනහම ඇඟට දැනෙන තෙහෙට්ටුව , තමන් කොච්චර ස්ථාවරද කියල හිතන් ඉන්න ඕනෙම රස්තියාදුකායෙකුට පොදු දෙයක්.
දැන් ඉතින් දවස් පහක් ගත කරන්නත් එපැයි.මේ පළාතෙ තියෙන ග්‍රාමීය බව නිසා නවාතැන් පහසුකම් ලබාගන්න  බොහොම අපහසු කාරණයක් වුනා.නමුත් කොහොමහරි අන්තිමේදී සෑහෙන මහන්සියක් දරල නියම තැනක පිහිටලා තිබුන නවාතැනක් තෝරාගන්න රස්තියාදුකාරයාට හැකි වුනා.
                                                          *****************
අධිවේගී මගට මුහුණලා තිබුණු රස්තියාදුකාරයාගේ නවාතැන වුනේ ක්‍රිස්තියානි පල්ලියක්.පල්ලියේ පියතුමා රස්තියාදුකාරයාට දැනුන විදිහට බොහොම  කරුණාවන්ත හිතක් තිබුන පුද්ගලයෙක්.රුසියානු ඔතඩොක්ස් වගේ නිකායන් වල පියතුමන්ලා  බෞද්ධාගමිකයන් සමග වැඩි ඇයි හොඳැයියකට නොගියත් මේ පියතුමා නම් දුහුවිලි වැදුන කිසිම පිළිවලක් නොතිබුණු රස්තියාදුකාරයාව බොහොම ඉහලින් පිළිගන්න තරම් හිතෛෂි පුද්ගලයෙක් වුනා.පියතුමාගේ බිරිඳ රස්තියාදුකාරයා වෙනුවෙන්ම බොහොම රසවත් රොටි විශේෂයක් පිලියල කර දුන්න.ඉක්මනින්ම රොටි කිහිපයක් සප්පායම් වෙලා රස්තියාදුකාරයා සුදානම් වුනා කෙටි විවේකයක් ගන්න.
          විවේකයෙන් පස්සෙ හවස මුළු හවස් කාලයම ගෙවුනේ  මහලු යුවල සමග පවත්වපු සතුටු සාමිචියකින්. තෙරක් නොපෙනෙන තැනිතලාවක මායිමේ පිහිටලා තිබුණු පල්ලියට යන්න ඒ හරිහමන් ශ්‍රාවකයෙක් නැති නිසා , මහලු උදවියගේ පාළුව මකන්න සිදුවුනේ රස්තියාදුකාරයාට. අනේකවිධ කතා මැද්දේ ටිකෙන් ටික  ඉර පොළවට සමු දෙන්න සුදානම් වුණා.උදේ පාන්දර ඉර සේවය ආරම්භයේදී කුකුල්ලු හඬලනවා වගේ , මේ දුෂ්කර කසකස්තාන ස්ටෙප්ස් තෘණ භුමි වල ලැගුම් ගෙන ඉන්න වල නරි ඉර බැහැගෙන යද්දී ඉවක් බවක් නැතිව විලාප තියනව. රස්තියාදුකාරයාට දැනුනු  ඒ හඬේ  ගුප්ත බවක් කැටිවෙලා තිබුනත් මහලු යුවලට නම් ඒක බොහොම හුරු බවක් පෙනෙන්නට තිබුන. මහලු පියතුමා කියපු  විදිහට කැලෑ නරි ඔය විදිහට විලාප තියන්නේ තමන්ගේ  කණ්ඩායම අතර නිරන්තර සහයෝගිතාවයක් පවත්වාගන්න.බොහෝවිට නරි වගේ සත්ව කාණ්ඩ රාත්‍රියට ක්‍රියාකාරී නිසා ගොදුරු හොයාගන්න යම් ප්‍රදේශයක් වටකිරිමේදී ඇතිවන සන්නිවේදනය තමයි රස්තියාදුකාරයා වගේ ඒ හඬ නුපුරුදු අයට විලාපයක් වගේ කර්කෂව ඇහෙන්නෙ.කසකස්තාන ගෝත්‍රිකයින් වල් නරින්ව හිලෑ සතුන් බවට පත්කරන්න උපන් හපන්කම් තියෙන ජාතියක්.මේ බව රස්තියාදුකාරයාට විස්තර ඇතුවම දකින්න ලැබුන කසකස්තාන කඳුකර කලාපයට ගිය ගමනෙදි.ඒ වගේම කසකස්ථාන නරින්ගේ හමට බොහොම විශේෂ තැනක් මිලාධික ඇඟලුම් නිපදවීමේදී හිමිවෙනව.ශීත කලාපීය දේශගුණයට දක්වන අනුවර්තන වලදී වල් නරි හම , සාමාන්‍ය ආසියානු වල් නරි හමට වඩා හය හත් ගුණයකින් වැඩුණු ලෝම සහිත හමක්.හිම මිදෙන කසකස්තාන කඳුමුදුන් වල ජිවත් වෙන ගෝත්‍රික ජනතාව තමන්ගේ ඇඟලුම් නිර්මාණය කරගන්නේ මේ වල්නරි සම භාවිත කරල.එතැනදී ඔවුන් වල් නරි දඩයමට යොදාගන්නේ හොඳින් පුරුදු පුහුණු කරපු දඩබල්ලන්(ඒ ගැන ඉදිරියේදී විස්තර සහිතව කියන්නම්).
කාල්ස් පියතුමාගේ නවාතැන , අතින් පෙනෙන්නේ හුදෙකලා විල්ලුව


කාල්ස් පියතුමා
එතුමාගේ බිරිඳ

කැරට් 24 රත්තරන් ඔරලෝසුව

රස්තියාදුකාරයාගෙන් පුංචි තෑග්ගක්
සතුටු සමිචියක්අතර







පල්ලියේ පියතුමාගේ නම කාල්ස්.එතුමා මට මෙතක් කාලයකට දකින්න ලැබුණු අමුතුම පුද්ගලයන් අතලොස්සෙන් කෙනෙක්.එතුමාගේ චින්තනය සම්ප්‍රදායික ඕතඩොක්ස් , ග්‍රීක ක්‍රිස්තියානි , යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් සැහෙන්න අපගමනය වුනු එකක්.එතුමාගේ දේවධර්මවාදී චින්තනය මැවුම්වාදය ඍජුවම ප්‍රතික්ෂේප කරන සංකල්පයක් සමග බැඳුනු ක්‍රමයක් මත පදනම් වුනු එකක්.මේ අඩවිය කියවන පාඨකයින් සමහරවිට අහල ඇති “චැරියට්ස් ඔෆ් ගෝඩ්ස්” කියන කෘතිය ගැන.ඒ කෘතියේ අන්තර්ගතය ගැන සඳහන් කලොත්  , අදාල කතුවරයා පොතේ අන්තර්ගතයෙන් පැහැදිලිවම ඔප්පු කරන්න උත්සාහ අරන් තියෙන්නෙ දෙවියන් සහ වෙනත් ලෝක වල ජීවින් අතර තියෙන සම්බන්ධය පිළිබඳව.ඒ කෘතිය කියවන බොහෝ පාඨකයින් රස්තියාදුකාරයාට දැනගන්න ලැබුණු විදිහට අවසානයේ අදාල තර්ක වල එල්බගැනීමක් , ඇබ්බැහිවිමක්  හෝ නැත්නම් කතුවරයාගේ මව්පියන් සිහිකිරීමක් සිද්ධ කරනව.හිතවත් කාර්ල්ස් පියතුමා උග්‍ර “චැරියට්ස් ඔෆ් ගෝඩ්ස්” වාදියෙක්, එතුමාගේ විශ්වාස අතර අදහන න්‍යායක් තිබෙනව , ඒ සිරිල් පොන්නම්පෙරුමගේ ජීවයේ ස්ථාවරත්ව වාදය පිළිබඳව.
රස්තියාදුකාර දෙශාටනයේ පාඨකයින්ට දැනගැනීම පිණිස ඒක ගැනත් කෙටියෙන්  කියන්නම්.
ස්ථාවරත්ව වාදය ඉදිරිපත් කරපු සිරිල් පොන්නම්පෙරුම , කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ හිටපු ජිව රසායන විද්‍යාව පිළිබඳව විශේෂඤයෙක්.එතුමා පිළිබඳව ශ්‍රීලාංකිකයො  හැමදෙනාම ලඟින්ම  දැනගන්නේ ප්‍රසිද්ධ රතු වැසි සිද්ධියෙන් අනතුරුව.රතුවැස්සට අදාල ව ජලයේ යම් ඇල්ගා විශේෂයක පැවැත්ම තහවුරු වීමත් , ඒවගේ  සමහරක් DNA සහලක්ෂණ පෘථිවියේ නැතිකමත් නිසා විද්‍යාඥයින් අතර සෑහෙන්න විශාල ආන්දෝලනයක් ඇතිවුනා මතක ඇතිනෙ. එතුමාට අනුව පෘථිවියේ ජිවය සම්භවය වුනේ හදිසියේ පෘථිවියට ඇතුළු වුනු බාහිර සාධකයක් මගින්. ඒ වුනත් එතුමා තමන්ගේ න්‍යායෙන් වෙනත් ලෝකයක බුද්ධිමත් ජීවින් ගේ පැමිණීම සමග , ක්ලෝනීකරණය නැතිනම් වෙනත් ක්‍රමයක් මගින් ජිවින්ගේ පැවැත්ම ඇතිකල බවක් පවසන්නේ නැහැ. කොහොම වුනත් අපේ පියතුමා ඔය කරුණු වලින් අච්චාරුවක් නිර්මාණය කරගත්තු පුද්ගලයෙක්.ඒ වගේම එතුමා සංස්කෘත ග්‍රන්ථ පිළිබඳව හසල දැනුමක් තිබුණු පුද්ගලයෙක්. “චැරියට්ස් ඔෆ් ගෝඩ්ස්” වාදය ගැන එතුමා රස්තියාදුකාරයාට කරපු කරුණු දැක්වීම් අතර සමහර සංස්කෘත ග්‍රන්ථ වල අඩංගු වෙලා තිබුණු පාඨ පවා බොහොම නිවැරදිව අර්ථයත් එක්කම අඩංගු වුණා. පැත්තකට වෙලා පරණ රේඩියෝවක AM චැනලයක් සුසර කරගෙන හිටපු පියතුමාගේ බිරිඳත් අපේ කතාවට බොහොම අවධානයකින් හිටියෙ. රස්තියාදුකාරයාට දැනුන විදිහට ඇයත් පියතුමාටම ගැලපෙන බිරිඳක්.ඒ බව රස්තියාදුකාරයාට ඔප්පු වුනේ අතරමැදදී පියතුමාට කරපු කරුණු දැක්වීම් වලින්.අන්තිමේදී රස්තියාදුකාරයාට දැනගන්න ලැබුණු විදිහට ඇයත් ආසියානු ඉතිහාසය පිළිබඳව විශේෂඥවරියක්. 
රාත්‍රී අහාරය සප්පායම් වෙලා රස්තියාදුකාරයා සුදානම් වුනේ නිදි කුමරියත් එක්ක සුපුරුදු විදිහට රාත්‍රියක් ගතකරන්න.ඒ වුනත් දහවල් කාළයේ විවේකයක් නාමයෙන් ලබාගත්තු කෙටි නින්ද නිසා රාත්‍රී නින්ද නම් අහලකවත් නැති  බවක් තමයි දැනෙන්න ගත්තෙ.ග්‍රැමෆෝන් සංගීතයේ ඌරුවට ඇහෙන AM  චැනලයේ සංගීතය රස්තියාදුකාරයාව ගෙනිච්චේ අතීත ලෝකෙකට.ඈතින් පුංචි තිත් වගේ පෙනෙන කසකස්ථාන ගෝත්‍රික නිවාස වල මන්දාලෝකය රස්තියාදුකාරයාට දැනුනේ අමුතුම හැඟීමක් විදිහට. කසකස්ථාන ගෝත්‍රිකයින් භුක්ති විඳින අසීමිත නිදහස, නිල්ල පිරුණු තැනිතලා වල ජිවත් වෙන අපුරුව , හුස්ම ගන්න ඇතිතරම් පිරිසිදු වාතය.. මේ හැමදෙයක්ම රස්තියාදුකාරයාගෙ හිතට ඇතිකළේ ඉරිසියාවක්.....
......බලාගාරයක හදිසි මෘදුකාංග යාවත්කාලින කරිමක් නිසා ඉතිරි දවස් දෙකම රස්තියාදුකාරයා අතිශය කාර්යබහුල වුනා.ලැප්ටොප් පරිගණක තුනක් දිහා බලාගෙන නිදිකිරමින් උන්නු රස්තියාදුකාරයා ගැන අනුකම්පාවෙන් පියතුමාගේ බිරිඳ උණු කෝපි පෝච්චියක්ම පිලියල කරදෙන්න තරම් ත්‍යාගශීලි වුනා.කොහොමින් කොහොමින් හරි යාවත්කාලීන කිරීම් සාර්ථක වුනු නිසා රස්තියාදුකාරයා සුදානම් වුනා එරල් මුහුද අවට සංචාරයක යෙදෙන්න.කැමරා ආම්පන්න අඩුක් කරපු  ටිකක් විතර බර පාට පෙට්ටගමක් උස්සගත්තු රස්තියාදුකාරයා පයින්ම එරල් වෙත පිටත් වුනා.........
                                           


ඊසොප් ගේ කරවල කඩේ

නාවික සොහොනක්



දේශාටන වාර්තාව ලිව්වේ : Jaffna, Sri Lanka

1 comment:

  1. Niyamai digatama liyanna. Apith langa hetiya wage danenawa.

    ReplyDelete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...