Saturday, July 6, 2013

“ට්‍රන්සිබ්” සහ නේවාසික පුරවැසියෝ.

“පුෂ්කින්ගේ” අවන්හලේ රස අහාර , මොස්කව් රාත්‍රී සිසිලස මේ හැම දෙයක්ම නිකන් හීනයක් වගේ. කාලෙකින් උදේ පාන්දර නැගිටලා පුරුදු නැති මම පහුවදා නැගිටිනකොට වෙනද වගේම අට පහුවෙලා. එත් ඉතින් මගේ නවතැන බාර “බාබුෂ්කට” (ආච්චි) පින්සිද්ද වෙන්න. යුරල් බලායන දුම්රිය උදේ නමයට මොස්කව් වලට එන නිසා මම සැහෙන්න වාසනාවන්තයි.
උවමනා දේවල් කලින්ම ලෑස්ති කරපු නිසා වෙලාව ගැන වැඩි ප්‍රශ්නයක් වුනේ නැහැ. “බබුෂ්ක” හදල දුන්නු කෑම ටික කාල ඇයට ස්තුති කරලා හැකි ඉක්මනින් නවාතැනෙන් සමුගත්තේ ටැක්සියක් හොයාගන්න බලාපොරොත්තුවක් ඇතිව.
මොස්කව් නැවතුම 
කොහොම හරි වැඩි ගැටළුවක් නැතිවම ටැක්සියකටත් ගොඩවුනා.ඇත්තටම රුසියානු ටැක්සි රියදුරන් ඉංගිරීසි දන්නවා අඩුයි. ටැක්සියකට ගොඩවුණු ගමන් කටපාඩම් කරගෙන ඉන්න ටික අතාරිනවා. “Hawulo My name is Alek” ඩ්‍රයිවර් මහත්තය හිනාවෙමින් එයාව හඳුන්වල දුන්න. වැඩිය හිතල මතල නොවුනත් මගේ කටින් Yeshchyo? (වෙන මුකුත් නැද්ද?) කියල පිට වුනා. ඇත්තටම ඒ මොහොතේ මට හිතුනේ ඔහුගේ රතුකට්ට පනීවි කියල. එත් මගේ වාසනාවට ඔහු නිවුණු පුද්ගලයෙක්. අයිමත් හිනහ වෙමින් Ya zanaiyu kid (f**u kid !) කියල පවසන්න තරම් ඔහු නිහතමානී වුනා. “Give me please one doller” ඒ ඔහු නිතරම කියන අනිත් වැකිය . .
ඇත්තටම මගේ වාචාල කම හින්ද ද මන්ද , ඔහු සැහෙන දේවල් දුම්රිය නැවතුමට යන අතරෙ මගෙත් එක්ක කතා කළා. ඔහු විශේෂයෙන් සඳහන් කරපු දෙයක් තාම මගේ මතකයේ තියෙනව. ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ගේ රංගන ශෛලිය ගැන . ඇලෙක් කියපු විදිහට රුසියානුවෝ ලංකාවේ ලංකාවේ නළු නිළියන්ට කැමති ජාතියක්. ඇලෙක් මට කිව්වා ලංකාවේ ප්‍රසිද්ද නළු නිලියෝ රඟපාන රුසියානු නාට්‍යක් ගැන , එත් මට අවාසනාවකට ඒ ගැන ලොකු මතකයක් නම් නැහැ. ඒ වගේම ඇලෙක් ගේ කතා විලාශයේ හැටියට තාම රුසියානුවන් පෞද්ගලිකව ඇමරිකානු විරෝධී පිරිසක්. ඒ නිසාම වෙන්න ඕනේ ඔවුන් තාම පුටින් මහත්තයට ආදරේ කරන්න හේතුව. මම රුසියානු නවාතැනේ හිටපු දින කිහිපයේදීත් මට අසන්න අත්දැකීමක් ලැබුන. දවසක් “බබුෂ්ක” මම හිටපු කාමරේට කලබලෙන් වගේ ඇවිත් මගේ අතින් ඇදගෙන ගියා රුපවාහිනිය ලඟට. නවාතැනේ හැමෝම වටවෙලා  පුටින්ගෙ දේශනයක් නරඹනව. “මේ අපේ පාලකතුමා” , ඇය ගෟරවනීයව පුටින්ව මට හඳුන්වල දුන්න.
නමයට විනාඩි දහයක් විතර තියල මොස්කව් දුම්රියපොළට එනන පුළුවන් වුනේ ඇලෙක් ගේ දක්ෂතාවය නිසා වෙන්න ඕනේ , මොකද ඒ තරමට වාහන තදබදය. මට එකපාරටම හිතාගන්න බැරිවුනත් ඇලෙක් ට මාව “අල්ලල” ගිහින්! ඔහු වාහනෙන් බැහැල ඇවිත් අතට අත දීල  මට සුබපැතුව. අන්තිමේදී ජීවිතේට එකපාරක් හම්බවෙන මගේ මිත්‍රයාගෙන් මම සමුගත්තා.
සුන්දර “ට්‍රාන්සිබ්” දුම්රිය පැය භාගයක් නැත්නම් පැයක්   මොස්කව් වල නවත්තල තියෙනව. මොස්කව් වලින් “ට්‍රාන්සිබ්” ඇයගේ ගමන ඇරඹුවහම නොනැවතී දවස් දෙකක් , කිලෝමීටර් 1420 ඈතින් තියෙන යෙකටරින්බර්ග් වෙත යනව. යෙකටරින්බර්ග් දැනට මගේ ගමනාන්තය. එත් දුම්රියේ ගමනාන්තය රුසියාවේ වලිද්වොස්ටක් නගරය. එතනට තවත් කිලෝමීටර් 8000 ක විතර දුරක් තියෙනව. ඒක දවස් පහක ගමනක්.රුසියාවේ හැමදෙයක්ම වගේ කොච්චි ටිකට් එකත් සෑහෙන ලාබදායි එකක්. කිලෝමීටර් 1420 සියලු පහසුකම් එක්ක ඩොලර් 280 ට.
“ට්‍රාන්සිබ්” කියන්නේ ට්‍රාන්ස් සයිබිරියන් (අන්තර් සයිබිරියන්?) දුම්රියට රුසියානුවෝ භාවිත කරන සුරතල් නාමය. ඇයගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 60ක් විතර. එක දුම්රිය මැදිරියක කාමර 10 විතර තියෙන දෙපැත්තේ නානකාමර  දෙකකුත් තියෙන අමුතු විදිහෙ දුම්රියක් “ට්‍රාන්සිබ්”. එක පුංචි කාමරයක හවුල් කාරයෝ හතර දෙනෙක් ඉන්නව. බිත්තියටම අල්ලපු නවන්න පුළුවන් ඇඳන් 4ක් , තේ මේසයක් , වටපිට නරඹනන පුළුවන් කවුළුවක් වගේම සීතලට පාවිච්චි කරන්න පුළුවන් පොඩි පහේ ගල් අඟුරු උඳුනක් , තේ හදන බොයිලේරුවක් හැම කමරෙකම අනිවාර්ය අංගයක්.
ඇඳන් අකුලපු කාමරය 
පවුලිනා ආච්චි 
“ට්‍රාන්සිබ්” වල මගේ අනිත් හවුල් කාරයෝ  වුනේ ; පෙව්ලිනා , ඇඩම් ජෝශප් සහ කැතරින් එවන්ස් කියන තුන්දෙනා. පෙව්ලිනා විශ්‍රාම ගිය රාජ්‍ය සේවිකාවක් .ඇයට අවුරුද්දකට සැරයක් ලැබෙන නොමිලයේ යා හැකි ගමන් වාරය නිසා, තමන්ගේ මුනුබුරු මිණිබිරියන් බලන්න උලාන් උඩේ වෙත යන ගමන්. ඇඩම් ජෝශප් හමුදා නිලධාරියෙක්. ඔහුත් කොකේසස් කඳුවැටි ආසන්නයේ තියෙන තමන්ගේ ගමට යන ගමන්. කැතරින් එවන්ස් ප්‍රංශ ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇය වැඩිදුර අධ්‍යාපනයට කොරියාවට යන ගමන්.
ඇඩම් ජෝසප් 
ට්‍රාන්සිබ් ලතාවකට තමන්ගේ ගමන අරඹන කොට නාමය හමාර පහු වෙලා ඇති. “ට්‍රාන්සිබ්” තුරුලේ ඉන්න හැමෝම අතරෙ මොහොතකින් හිතවත්කම් සෑහෙන්න ඇතිවෙනවා. මහලු පවුලිනාට ලැබිල තිබුනේ ඉහල ඇඳක්. “පුතා මම පහල ඇඳ ගත්තට කමක් නැද්ද?” මුලින්ම හඬ අවදි කලේ ඇය. “අ..හා කමක් නෑ ආච්චියෙ” මම මගේ ඇඳ ඇයට ප්‍රදානය කළා.
කැතරින් එවන්ස්
මුලින්ම මගෙත් එක්ක ටිකක් වෙලා කතාවට වැටුනේ ඇඩම් මහත්මය. ඇඩම් රුසියානු පාබල හමුදා සෙබලෙක්. ඒ වගේම ඇඩම් තදබල දේශප්‍රේමියෙක්. “මේ මගේ රට කොල්ලෝ. මම බයක් සැකක නැතිව රටේ කරක් ගහනවා” ඒ ඔහුගේ ගාම්භීර වචන. පවුලිනා ආච්චි , කැතරිනා එක්ක බර කතාවක.
ට්‍රාන්සිබ් තෙරක් නොපෙනෙන තැනිතලාවක හැල්මේ දුවනව. වටේටම සුන්දර ජනශුන්‍ය තැනිතලාවක්. ගමනේ මුල් ටික වැඩි හැලහොල්මනක් නැතිව ගෙවුන. මම මගේ රැකියාවේ වැඩ වගේකට යොමු වුනා. ඇඩම් , පවුලිනා හොඳටම නිදි.  කැතරින් පොතක් බලනව.
හවස හැමෝම තේ බොන වෙලාව . වෙනද වගේම කැමැත්තෙන්ම තේ හැදුවේ මම. ඉඟුරු දමපු තේ කහට එකක රස පලවෙනි වතාවට දැනිච්චි කෙනෙක්ගේ හැඟීම් කොහොම වෙන්න ඇතිද .. මම ගෙනාපු ඉඟුරු කෑලි කීපයෙන් 2ක් ඇඩම්ට වගේම පවුලිනාටත් පුදන්න සිදුවුණා ඔවුන්ට වගා කරන්න තියෙන වුවමනාව මත.
ඇඩම්ගේ දරුමුනුපුරෝ වෙසෙන්නේ කොකේසස් කඳුවැටිය අසල. හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාව (“ද කොකේසියන් චෝක් සර්කල්” ) කොකේසස් කඳුකර ප්‍රදේශයේ සුප්‍රසිද්ද ජනශ්‍රැතියක්.
කැතරින් එවන්ස් ප්‍රංශයේ පිටිසර ගමක යුවතියක්. කැතරින් මුලින් මගෙත් එක්ක වැඩි කතාබහක් නොතිබුනත් මගේ “රසවත්” තේ එකෙන් පස්සෙ සැහෙන්න හිතවත් වුනා. ඇයගේ දෙමාපියන් මෙලොව හැරදා ගිහින්. ඉතින් ඇය ජිවත් වෙන්නේ ඇයගේ ආච්චිත් එක්ක පුංචි ගෙයක. යන්තම් ඉතිරි වෙලා තිබුණු මුදලින් මොස්කව් විශ්වවිද්‍යාලයට ඇවිදින්.කතාවෙන් පස්සෙ මුළු රාතී‍්‍ර කාලයම වෙන්වුණේ ඕමි ගහන්න. අදහස ගෙනාවේ පව්ලිනා ආච්චි. වට අටක් ඕමි ගහල අන්තිමේදී හැමෝම සෙල්ලම නතර කරන්න එකඟ වුනා. පව්ලිනාගෙ මාබල් ගලක් , ඇඩම්ගේ හම්පටියක් සහ  කැතරින් ගේ ලේන්සුවක් මම දිනුව. ඒ වෙද්දී රෑ එකොළහ හමාරත් පහු වෙලා. ඉතින් වැඩිහිටි දෙන්න නිදියන්න ලෑස්ති වුනා. “ජේසු අපව රැකගනිත්වා” “ආමෙන්” ඒ පව්ලිනා ඇඩම් සහ කැතරින්.
සියලු සමයක් දෘෂ්ටික දේවතාවෝ අපව රැකගත් වා!!(මම ඉතින් ආමෙන් කියන්න යැ!) , පව්ලිනා , ඇඩම්ස් සහ කැතරිනා, ඔබට සුබ රාත්‍රියක්...



ට්‍රාන්සිබ් " මේක නම් "නෙට් " එකෙන් ගත්තේ 

"ට්‍රාන්සිබ්" 

යුරල් ආසන්නයේදී ...

හිම වැටුණු පරිසරය , මගේ එච්.ඩි.ආර්. ලෙන්සයෙන්

කට්ටිය පාටියක් දාන අතරෙ 

ව්‍යාපාරික පන්තිය සඳහා.

 කාමරය සහ කොරිඩෝව 

කොරිඩෝව...

යුරල් කඳුවැටිය 


සම්ප්‍රදායික රුසියානු නිවසක් 

යෙකටරින්බර්ග් වෙතින් සමුගනිද්දී 

තෙරක් නොපෙනෙන දුම්රිය මග

මේ හරියේදී ට්‍රාන්සිබ් විදුලියෙන් දුවන්නේ 
යන අතරමග 

චායාරුප ගුගල් වෙතිනි ...

Tuesday, July 2, 2013

සුන්දර සයිබිරීයාවට පිවිසීම



වාතැනේ මිතුරන්ගෙන් සමු අරගෙන මම සයිබීරියාවට එන්න හිතුව. “එත් සයිබිරීයාව කියන්නෙ ආධුනිකයන්ට නපුරක් වෙන්න හොඳටම ඉඩකඩ වැඩි තැනක් ” කියල කෙක් මහත්තය මගේ අදහසට නිතරම දුන්නු පිළිතුර නිසා මම මගේ ගමන සැලසුමක් ඇතිව ඉදිරියට ගෙනාව.
මම මගේ නවාතැනෙන් පිටත් වෙලා මුලින්ම ආවේ රුසියාවේ මොස්කව් නුවරට . ඇත්තටම පුදුම හිතෙන නගරයක්.මිට කිලින් හැබැහින් නොදැකපු රතු චතුරස්‍රය හරියටම දැකබලාගන්න එදා පුළුවන් වුනා. සමාජවාදයේ සිහිවටන , රුසියානු චින්තනය , සාහිත්‍යය ; මේ හැම දෙයකම හරිම අපුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනව.  මම පුද්ගලිකව නම් නාගරික පරිසරය ප්‍රතික්ෂේප කරන කෙනෙක්  වුනත් , ඇත්තටම මොස්කව් සුන්දර කිරිල්ලියක්.
සුන්දර මොස්කව්

 මගේ ගමනට වුවමනා කළමනා එකතු කරගන්න එක තමා මම මොස්කව් වලට එන්න ආසන්නම හේතුව. කෙළවරක් නැති විඩාව නිසා මොස්කව් වලට සැපත් වුනු දවසෙම ඇතිවෙන්න නිදාගත්ත.
පහුවදා , ඒ කියන්නේ 2011 අවුරුද්දෙ මාර්තු 8 වෙනිදා මම මගේ ගමනට වුවමනා කළමනා ටික එකතු කරගන්න සාප්පු සවාරියක් යන්න හිතුව. මම ගියේ කොර්කුනොව් කියන විදියේ පිහිටලා තියෙන ගමන් බඩු විකුණන කඩේකට.  මගේ වෙලාවට කඩේ අයිතිකාර වැලිද්මීර් මහත්තය ඉංග්‍රීසි දැනගෙන හිටිය. මගේ අවශ්‍යතාව කිව්වහම “සයිබීරියාව නපුරු පලාතක් කොලුවෝ” කියල කිව්වේ වැලිද්මීර් මහත්තයාගේ නෝන.
කොර්කුනොව් විදිය 

දිගු ගමනක් යනකොට කෑමටත් වැඩ වුවමනා කරන්නෙ සිතියමක් , එත් මේ කාලේ සිතියම් පාවිච්චියක් නැති නිසා මම ජි.පී.එස්. පාවිච්චි කරන්න හිතුව. ඒ වගේම චන්ද්‍රිකා දුරකතනයක් , නවන්න පුළුවන් සුර්ය පැනලයක් , එල්.ඊ.ඩි  විදුලි පන්දමක් , ලිතියම් අයන් බැටරි දෙකක් , අකුලන්න පුළුවන් “මයිනර්” කුඩාරමක් , සීතලට අඳින කබායක්  වැලිද්මීර් ගෙන් මිලදී ගත්ත. මගේ රැකියාවේ පහසුවට මිනි ලැප්ටොප් පරිගණක දෙකක් ලඟම තිබුණු “කොම්පියුටර් බඩු” කඩෙන් අරගත්ත. වැලිද්මීර් ගෙන් සමුඅරගෙන මම ඊළඟට අවේ කැමරා විකුණන කඩේකට. එතනින් සෝනි ඩි.700 වර්ගයේ ඩි.එස්.එල්.ආර් කැමරාවකුත්  අරගෙන මගේ මොස්කව් නවාතැනට පිටත් වුනා.
නවාතැනට අවයින් පස්සෙ කෝපි කොප්පෙකුත් එක්ක මම යන්න බලාපොරොත්තු වෙන මාර්ගය සැලසුම් කළා. ඇත්තටම මගේ එකම බලාපොරොත්තුව වුනේ සුපිරි අත්දැකීමක් ලබාගන්න එක. කෙක් මහත්තය මට කියපු විදිහට මම ට්‍රාන්ස් සයිබීරියන් දුම්රියෙන් යුරල් කඳුවැටිය බලා යන්න තීරණය කළා.මොස්කව් වල ඉඳන් යුරල් කඳුවැටියට කිලෝමීටර් 1420 ක විතර දුරක් තියෙනව. “ට්‍රාන්සිබ්” දුම්රියේ ගියොත් දවස් 2ක නේවාසික ගමනක්.
යුරල් කියන්නේ යුරෝපය ආසියාවෙන් වෙන්කරන සිමාව , ඒ වගේම සුන්දර සයිබීරියාවේ ඇරඹුම . මොස්කව් දුම්රිය ස්ථානෙන් ගමන් ඇරඹුවහම මගේ ගමනාන්තය වෙන්නෙ යුරල් ආශ්‍රිතව පිහිටලා තියෙන යෙකටරින්බර්ග් නගරය.
සුන්දර යුරල් 

  මේ හැමදේම සලසුම් කරල ඉවරවෙනකොට රාත්‍රී 8ත්  පහුවෙලා. ඉතින් මම තීරණය කළා මගේ රාත්‍රී අහාරයත් එක්ක මොස්කව් වල රාත්‍රීයෙ සිසිල් සුළගෙ සුන්දරත්වය විඳින්න.  ඉතින් මම හිතුව “පුෂ්කින්” ගේ අවන්හලට ගොඩවෙන්න. ඇත්තටම “පුෂ්කින්” ගේ අවන්හල පුදුම හිතෙන තැනක්. එතන තියෙන හැම දෙයක්ම පෞරාණික දේවල්.
 “පුෂ්කින්” ගේ අවන්හලට ගිය ගමන්ම මම කලේ ගෙදරට කතාකරපු එක. මොකද ඒ වෙනකොට ගෙදර කට්ටිය නින්දට යන වෙලාව.. මගේ වෙලාවට “පුෂ්කින්” ගේ අවන්හලේ බත් තිබුන. “කැලිෆෝර්නියා මොටෙලයේ” ඉන්නේ කාලේදී බත් ඇටයක් ඇහැට නොදැකපු මට එක දිව්‍ය භෝජනයක්. එත් ඉතින් මේ රුසියානුවන්ගේ බත් පිඟානක් කියන්නෙ තේ බොන කොප්පෙකට අල්ලන බත් ප්‍රමාණයේ බත් ස්වල්පයකට. අවසනාවක මහත ,මට ඔවුන්ගෙන් බත් පිඟන් තුනක් ම මිලදී ගන්න සිදුවුනා. එත් ඉතින්” පුෂ්කින්” ට දොස් කියන්න යැ!. එක ඔවුන්ගේ සිරිතනෙ.
කාල ඉවර වෙලා ගිමන් නිවාගෙන මම “පුෂ්කින්” ගේ අවන්හලට සමුදුන්න. තෙරක් නොපෙනෙන මොස්කව් විදියක් හරහා මම විදින්න පටන් ගත්ත.
පුෂ්කින් ගෙ අවන්හල 
පුෂ්කින් ගේ අවන්හලේ ශ්‍රී ලංකා තේ කෝප්පයක් 

මොස්කව් කියන්නෙ ඇත්තටම සුන්දර සහ අතිශය දියුණු නගරයක්. එත් මොස්කව් වල පෞරාණික පෙනුම තවමත් අගේට රැකිල තියෙනව. මොස්කව් ගෘහ නිර්මාණ ශිල්පයට මම දකින  විදිහට මුලිකවම “මෝගල්” අභාෂය  බලපාල තියෙනව. රුසියානු - මොන්ගෝලියානු ගෘහනිර්මාණ ශිල්පය අතර වෙනසක් දකින්න බැරිතරම් ඒ ශෛලීන් පෑහෙනව.
පාරට වැටුණු රතු චතුරශ්‍ර කැත්‍රඩිලයේ ආලෝකය ඇත්තටම ගොඩක් සුන්දර දර්ශනයක්. සිතල සුළඟට මුසුවෙච්ච සමාජවාදී හැඟීම් මට  නොදැනුනාට හැම රුසියානුවෙක්ටම දැනෙනවා ඇති. එත් මම ධනවාදය තරයේ ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක් . ධනවාදයෙන් හිතන හැම පුද්ගලයෙක්ගෙම ඔලුවේ වැඩ කරන්නෙ “ප්රෝෆිට්” කියන සංකල්පය. එක ධනවාදීන්ගේ  මුළු ඇඟේ ම දුවන “විෂබීජයක්”. තමන්ගේ අම්ම තාත්තව විකුණන් කන සමාජයක් ධනවාදී රටවල ඇතිවෙන්න හේතුව ලේ , මස් , නහර වල දුවන “ප්රෝෆිට්” කියන සංකල්පය.
සුන්දර රතු චතුරශ්‍රය 

සුන්දර මොස්කව්


“කැලිෆොර්නියානු මොටෙලයේ” මගේ මිතුරිය , ජුලිය කියපු විදිහට සමාජවාදය සුන්දර සංකල්පයක්. මුලින් සරල චින්තනයක් විදිහට ඉපදුනු සමාජවාදය අද වෙද්දී අතුපතර විහිදුවපු මහා වෘක්ෂයක්. එත් ඒ සොඳුරු වෘක්ෂලතාව  ධනවාදය  නමැති අදිසි හස්තයේ සදාකාලික ගොදුරක්.
ශාන්ත බැසිලිකානු කැත්‍රඩිලය ඇත්තටම සොඳුරු දර්ශනයක්. ඒ වගේම ක්‍රෙම්ලිනය (රුසියානු බුද්ධි අංශය) කෙනෙක්ගෙ හිතට අමුතුම හැඟීමක් ජනිත කරවනව. ඇත්තටම සමාජවාදය කියන ගුප්ත සංකල්පය මොස්කව් සීතල සුළගෙ දැවටිලා නිදහසේ පාවෙනවා වගේ හැඟීමක් , ඒ සුළග ඇඟේ දැවටෙනකොට දැනෙනව.

ඇත්තටම මොස්කව් කිරිල්ලිය ඔබ  විශිෂ්ටයි!!


චායාරුප ගුගල් වෙතිනි...