Monday, November 18, 2013

තහනම් කලාපය සහ භූත නගරය 1 කොටස( Exclusion Zone and the Ghost town part 1) )





හිතවත් පාඨකයින්ට සමහරක් විට මතක ඇති රස්තියාදුකාරයා දීර්ඝව නෝමැඩ් වරුන් පිළිබඳව විස්තර කල විත්තිය.මේ ගැන ඔබට විස්තර කරන සිදුවුනේ රස්තියාදුකාරගේ ඉදිරි චාරිකාවේ දී රුසියානු කලාපය අවට වෙසෙන නෝමැඩ්වරුන් පිළිබඳව තරමක දැනීමක් අවශ්‍යව තිබුණු නිසාවෙන්. නැතිනම් “පාවෙක් නෝමැඩ්වරුන්” නැතිනම් “ටූබි නෝමැඩ්වරුන්” , “කසකස්ථාන නෝමැඩ්වරුන්” පිළිබඳව විස්තර කිරීමේදී ඔබ අපහසුවට පත්වෙයි.
 
කසකස්තාන තැනිතලා

කාල්ස් පියතුමාගේ හුදෙකලා නිවස පිහිටියේ තෙරක් නොපෙනෙන කසකස්ථාන තැනිතලාවක මධ්‍යට යම් ආසන්න බවකින් යුතුව. කුඩා කාල්ස් නිවස දෙමහල් බොහොම පැරණි පෙනුමක් ආරූඪ කරගත් වලව්වක් වැනි නිර්මාණයක්.උඩුමහලේ නිදන කාමරත් පහත මහලේ සාලය හා කුස්සියත් සමඟ උස බිත්ති සහිත යාඥා කාමරයක් ඇතුලත් වුනු එය රස්තියාදුකාරයා දුටු චාම් බවෙන් “අන්තයටම” පැමිණුනු නිවෙසක්.
රස්තියාදුකාරයා කාල්ස් නිවසට යන විට එම පලාතම තිබුනේ තද ශිතලක.බිහිසුණු උඩුබිරිලීමක් වැනි ස්වරයකින් හාත්පස කැරකෙන ශීත සුළඟ කාල්ස් නිවසේ පැරණි ජනේල මත හැපුනේ ඒවා දැඩි අපහසුවකට ලක් කරමින්.
“ඔය යුරල් පැත්තෙ ඉඳන් හමන යක්ෂයාගේ සුළඟ කොලුවෝ  , වැඩි එලි පහලියට යන්නෙ නැතිව ඉඳපන් ; උඹ අසනීප වෙයි”   කාල්ස් මහත්මිය රස්තියාදුකාරයාට උපදෙස් දුන්නේ අවධාරණාත්මක ස්වරයකින්.
“කිරි කිරි” ගාමින් හමන සුළගේ කාල්ස් යුවලට විශේෂත්වයක් නොවුනත් රස්තියාදුකාරයාට දැනුනු ආකාරයට එය බොහොම නැවුම් අත්දැකීමක්. උණුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින් නැවුම් තැනිතලාවක් දෙස බලා සිටීම කොපමණ ආශ්වාදජනක දෙයක්ද?  බලන හැම අත පිරුණු සජීවී හුදෙකලා බව , ඈතින් පෙනෙන තිත් වැනි ගෝත්‍රික නිවාස ; ඒ දෙස බලන පුද්ගලයෙකුගේ සිතෙහි ජනිත කරන්නේ අපූරු ආස්වාදයක්. සතුට දුක පිරි ජිවිත තුල මිනිසුන් කෙතෙක් කිමිදුනත් ඒ දෙකම නොමැති මැදහත් බව කෙතරම් උතුම්ද? සැමදා විඳින කලබලය පරයා නැගෙන හුදෙකලාව කෙතරම් නැවුම්ද?
 
පුළුල්ව විහිදුනු ස්ටෙප්ස් භුමි. අඳුරු අහස...

රැකුන් සතුන් දෙදෙනෙක්

සීතල තැනිතලාව සිහිවන සෑම විටෙකම රස්තියාදුකාරගේ සිතට නිරායාසයෙන්ම පැමිණියේ “ලෝරා එංගල්ස් වයිල්ඩර්” නමැති ඇමරිකානු ජාතික කතුවරිය පිලිබඳ මතකයක්.ඔබ ඇතැම්විට ඇගේ සොඳුරු කතාව අඩංගු “ලිට්ල් හවුස්”*** කතා මාලාව කියවා ඇති.
තද මිහිදුමක් ඇති තැනිතලාවේ ඈත කෙලවර බොඳවුණු චායාවක් ආකාරයෙන් පැමිණෙමින් සිටියේ අශ්වයෙකු රැගත් කසකස්තාන ගොපලු මිනිසෙක්.කෙමෙන් ළඟා වන ඒ සෙවනැල්ලේ තිබුණු ප්‍රතාපවත් පෙනුම නිසා රස්තියාදුකාරගේ සිතට දැනුනේ තරමක පුදුමයක්.සම්ප්‍රදායික කසකස්තාන ගෝත්‍රික ඇඳුමෙන් සැරසී සිටි ඔහුගෙන් ඈතදීම පළවුණේ මිත්‍රශීලි සේයාවක්.
“මහත්තය වෙන්ට ඇතෑ මේ පලාතට ආපු සංචාරකය” ගොපලු මිනිසා ඈතදීම රස්තියාදුකාරයාගෙන් විමසුව.
“ආ... එහෙමයි උන්නැහේ දැන් දවස් කිහිපයක් වෙනව...”    “උන්නැහේ කොයි පැත්තෙ ඉඳන්ද?”...  සිතට නැගුනු පුදුමයත් සමඟම රස්තියාදුකාරයා විමසුව.
“මං මේ එහා පැත්තෙ සිමාවේ ඉඳන් මහත්තයො . තදින්ම මිදුම පත්වෙලා අහස් ඉමෙන්  එහාට , ඒකයි මේ පැත්තට ගොඩවුනේ”  තෙරක් නොපෙනෙන ක්ෂිතිජය පෙන්වමින් ඔහු පැවසුව.
ගොපලු මිනිසා පැවසුව ආකාරයට මේ පලාතට මිහිදුම පහත්වීම බොහොම සාමාන්‍ය සිදුවීමක්.එයට ඔවුන්ගේ ජිවිත තදින්ම ඇලී-ගැලී පැවතීමක් දකින්නත් පුළුවන්.නමුත් ඒ දේවල් කුමණ ආකාරයට සිදු වුනත් ඔවුන් මිදුම දෙස බලන්නේ තරමක උදාසීනත්වයට පත්වුණු  සිතිවිල්ලකින්.
“මහත්තයට පේනවා නේද අර ඈත ඝන මිහිදුම් පටලය? , ඕක තමයි මේ පළාතෙ එව්වො මංමුලා කරන යක්ෂය.. දැන් ඔය මිහිදුම නිසා අපි යන සේරම ගමන් යන්නෙ රාත්‍රියට මහත්තයො...”   ඔහු මැඩගත් කෝපයෙන් යුතුව පැවසුව.
“ඈ... උන්නැහේ !  දවල්ටත් යන්න බැරි එකේ කොහොමද රාත්‍රියට පාර හොයා ගන්නෙ ? ; ඊටත් මීදුම ඇතුලෙදි? “ රස්තියාදුකාරයා පුදුමයෙන් පුදුමයටත් පත්වී විමසුව.
“හහ්... හහ්.. ! මහත්තයෝ ඔය මිදුම් පටලෙ දැඩි වෙන්නෙ වටේට විතරයි.දවල්ට ඉර නැති අඳුරු ආකාසේ , ඒ වුනාට රෑට ; රෑට තරු පිරිච්ච නිල් ආකාසේ... මහත්තයට කියන්න... අපේ එව්වොන්ට තාරුකා ටික මුලින්ම කටපාඩම් කොරවලයි මේ පළාතේ අවිද්දවන්නෙ ; අපි ජීවිතෙන් බාගයක් ගෙවන්නෙ මිදුමත් එක්ක මහත්තයො, අපේ සත්තුන්ට කන්ට පිරිසිදු  තණකොළ වඩන්නේ ඔය මීදුමෙන්... ඉතින් කොහොමැයි මිදුමට හුරුනොවී ඉන්නේ?”  කාල්ස් මහත්මියගෙන් ලැබුණු කෝපි කෝප්පය තොලගාමින් ගොපල්ලා පැවසුව.
ගොපල්ලා රස්තියාදුකාරයාට පැවසුව ආකාරයට ඔවුන් සමස්ත තැනිතලාවේම මිනිසුන් සමඟ මිත්‍රශීලි ලෙස කටයුතු කරන්නන් පිරිසක්.බොහෝ දුරට ස්ටෙප්ස් තෘණ භූමියක වෙසෙන අඩු ජන සාන්ද්‍රණය නිසා ,  එම පමණට වැඩි මිත්‍රශීලිභාවය ඔවුනට අත්‍යාවශය දෙයක්.
සම්ප්‍රදායික නෝමැඩ්වරයෙක්

නෝමැඩ් ළමුන්

තැනිතලාවේ ජිවත් වෙන නෝමැඩ්වරුන් ඔවුනොවුන් අතර අසීමිත සහයෝගයකින් වැඩ කරන ජනතාවක්. බොහෝවිට භාණ්ඩ හුවමාරුව සඳහා ඔවුන් නිතරම එකිනෙකා හමුවෙමින් සතුටු සාමිචියේ යෙදීම සිරිතක් බවට පත්කරගෙන තිබෙනව.ඒ වගේම තැනිතලාවේ විශාල බව නිසා සැමවිටම තැනිතලාවේ නෝමැඩ්වරුන් ජිවත් වන්නේ කුඩා සංවිධානය වූ ඒකක  ආකාරයට.එකිනෙකා අතර අන්‍යෝන්‍ය සහයෝගය , සිරිත් විරිත්,  උත්සව , අවාහ - විවාහ , ආදී අනේකවිධ කටයුතු වලට එයින් සැලසෙන්නේ අපුරු සෙතක්. උදාහරණයක් ලෙස ඔබ මොහොතකට සිතන්න ඔවුන් අශ්වයින්ට නැත්නම් යැක් ගවයන්ට අහාර සඳහා තණ කැවීමට යන අවස්ථාවක් පිළිබඳව.
 
සුන්දර දිවිය

නිදහසේ දිවි ගෙවන වල් අශ්වයන්

කුඩා ඒකකයේ සෑම ගොපල්ලෙකුම එයට පිටත් වෙන්නේ දවසේ යම් නිශ්චිත වෙලාවකට.එවිට ඉතිරි වන ගොපලු කාන්තාවන් සිදු කරන්නෙ සාමුහිකව මුළු ඒකකයටම ඇති වන සේ අහර උයා පිහා සුදානම් කිරීම.හවුලේ කුඩා දරුවන්ගේ කටයුතු , හවුලේ (අත්තම් ක්‍රමයට?) සතුන්ට තණ කැවීමට ගෙනයාම මෙහි තවත් සුලභ දර්ශනයක්.
ටිකින් ටික තැනිතලාවට රාත්‍රිය උදාවෙන්න සැරසුණා.අන්තිමේදී කාල්ස් යුවලත් අපේ කතාවට එකතු වුණා.සිතල සුළඟ බියකරු ලෙස අප හා ගැටුන නිසාවෙන් අපගේ සාමිචිය සිදුකලේ කාල්ස් යුවලගේ නිවස තුල සුවපහසු කාමරයක සිට. හාත්පස තනිතලාවේම තිබුනේ ගුප්ත නිහඬ බවක්. කැලෑ නරින්ගේ මුසල හඬට අමතරව එම නිහඬ බව බිඳුනේ ඇතින් කෑගැසූ ගෝෆර් මියෙකුගේ හෝ කසකස්තාන සුදු බස්සෙකුගේ හඬින්.
“මහත්තයට ඔය ඇහෙන සතාගේ හීනි විලාපය බීම් උලම හඬලන සද්දේ.”   රස්තියාදුකාරයා කලබලයෙන් තැතිගැන්වූ හේතුවට තැනිතලාවේ මිනිසා පිළිතුරු දුන්න.
“අම්මප මං කියන්නේ පුතා අහල නැතුව ඇති වගුරු උලමගේ සද්දෙ ; ඒක ඇහිල පුරුදු නං මේකට කලබල වෙයි යෑ...”   පියතුමා සිනහවක් මුවට නගාගෙන පැවසුවා.
පියතුමා සඳහන් කරපු ආකාරයට වගුරු උලමාගේ නාදය තැනිතලා උලමාගේ නාදයට වඩා කිහිප ගුණයක් බිහිසුනු බියකරු නාදයක්. අප රටේ නිවර්තන උලමාගේ විලාපය තරම් නොවුනත් ,  මේ උලමුන්ගේ පවුලටම උරුම වී  ඇත්තේ වියරු වැටී විලාප දෙන ගැහැනියකුගේ වැනි නාදයක්.
කසකස්තාන වල් බළලුන්

සුදු බස්සෙක්

කසකස්ථාන නරියෙක්

කාල්ස් මැතිනිය තැම්බූ දුම් දමන බබිම් අල භාජනයක් මේසය මත තබමින් රස්තියාදුකාරයාට ප්‍රශ්නයක් යොමු කළා.
“පුතා දැකල තියනවද සුදු බස්සන් කරුවලේ ගෝෆර් මීයෝ අල්ලනව?”
“ගෝෆර් මීයෝ ! එච්චර ලොකු සතෙක්ව? අනේ මන්ද මිසිස් කාල්ස්  මම දැක්කේ මිනිස්සු වැලිමීයො අල්ලන සිද්ධියක් විතරයි.” තරමක කුහුලෙන් යුතුව රස්තියාදුකාරයා පිළිතුරු දුන්න.
“පුතා දන්නවද , සුදු බස්සෙක් පිහාටු විහිදෙව්වහම අඩි දෙකක් විතර පළලයි. ඌ කරන්නෙ ගෝෆර් මියගේ  බෙල්ලට පැනල පිහාටු වලින් ඌව වහන එක... අන්තිමට බෙල්ලේ නහරයක් සිදුරු කරලා ටික වෙලාවක් යනකන් ඌත් එක්ක පොර බදනව.... ටිකකින් ගෝෆර් සතා මැරිල වැටෙනව...” කාල්ස් පියතුමා අඩුවැඩිය එකතු කරමින් පැවසුව.
“ඔව් මහත්තය ඒක හැබෑව, හැබැයි ඉතින් සුදු  බස්සන්ගේ ඒ හැටි නරකකුත් නැහැ ; අර අපේ පොඩි එව්වෝ නිතරම ඇතිකරන්නේ උන්ව...”  ගොපලු මිනිසාත් පැවසුව.
කතාව අතරේදී කාල්ස් මහත්මිය පිඟන් වලට බීම් අල බෙදන්න සුදානම් වුනා,තක්කාලි සෝස් , කුකුල් මස් ඉස්ටුවක් සමඟ බිම් අල ඉතාම ප්‍රනීත ආහාරයක්.අවට උෂ්ණත්වය රකින්න දල්වපු උඳුන දිහා බලාගෙනම අපගේ එඬේර සඟයත්  යහමින් අහාරය සප්පායම් උනා.
රාත්‍රිය උදා වුනු නිසා අපගේ සතුටු සමිචියට තිත තබන්න තන්තලාවේ එඬේරා සුදානම් වුනා. 
“ඉතින් මහත්තයො අපි අයෙත් හමුවෙන්නේ නැති වෙයි.මගේ හිතට වේදනාවක් තියෙන්නෙ... එහෙනං මං ගොහින් එන්නම්.” දුක්බර හුදෙකලා සිතිවිලි ලෝකයක රස්තියාදුකාරයාව ගිල්වමින් තැනිතලාවේ එඬේරා අපගෙන් සමුගත්ත. කාල්ස් යුවලත් රස්තියාදුකාරයාත් ඈත මිහිදුම තුල නොපෙනී යන ඒ අපුරු මිනිසාගේ ඡායාව දෙස බලාගත්වනම මොහොතක් සිටින්න ඇති.
 
තුන්ඉරි අප්පු කෙනෙක්

සුදු බස්සන් ජෝඩුවක්

පිටත තිබූ ඇඟ හිරිවට්ටන සිතල නිසා රස්තියාදුකාරයා තවත් ගුප්ත රාත්‍රියක් ගෙවා දැමීමට පමා නොවීම යහනට පිවිසෙන්න තීරණය කළා. ඝෝර නාද කරන සුළඟ නිසා වෙවුලන නිවසත් , දොරවල් යටින් බඩගා පැමිණි සීතලත් රස්තියාදුකාරයාට දැනුනේ මහත් නුහුරු හැඟීමක් ලෙසින්. නමුත් උඳුනේ පෝරණු බටයට ආසන්නව තබා තිබුණු සයනය නිසා රස්තියාදුකාරයාට දැනුනේ ඉතා සුවපහසු අපුරු උණුසුමක්.
රස්තියාදුකාරයාගේ සයනයත් කාල්ස් පියතුමාගේ අපුරුම නිර්මාණයක්. ඔබට මතකද පැරණි නිවාස වල තිබුනු උඩට වියනක් සවිකරන ලද සයනයන් පිළිබඳව?
කාල්ස් නිවසේදී රස්තියාදුකාරයාට හිමිවුණු සයනයත් එවැනිම ඉතා පහත් වියනක් සහිත මදුරු දැලක් වැනි සිදුරු රෙද්දකින් හොඳින් ආවරණය වුනු එකක්. බියකරු හුදෙකලා සුලන්ගේ හඬත් සමඟ කල්පනාවක නිග්මන්ව සිටි රස්තියාදුකාරගේ දෙඇස් නිතැතින්ම යොමුවී තබුනේ ඉතා පහත් වියන වෙත.
ඇඳ වියනෙහි ඇතුල් පැත්තෙහි පදිංචි වී සිටියේ කුඩා බිත්ති මකුළු**** පවුලක්. අපි සිතමු ඔවුන් මව , පියා සහ ඔවුන්ගේ පුතනුවන් හෝ දියණිය ලෙස*****. ඒ පුංචි මකුළු පවල ජිවත් වුනේ සෑම අතකින්ම ආවරණය වුනු ඇඳේ ; මදුරු දැලෙහි උඩු වියනේ ඇතුල් පැත්තට වෙන්න. මකුළු දැලක්වත් වියා නොතිබුණු ඔවුන්ගේ දිවිය ගැන රස්තියාදුකාරයාට දැනුනේ පුදුමයක්.හාත්පසින් ආවරණය වුනු ලොවක ඔවුන් හුදෙකලා දිවියක් ගෙවන්නෙ අපුරු ආකාරයට. නමුත් මේ හැම දෙයක්ම අතරෙ රස්තියාදුකාරයාගේ සිත පිරි ගියේ ක්ෂණිකව මතුවුණු ගැටළුවකින්.
“හාත්පස ආවරණය වුනු එවැනි මදුරු දැලක් ඇතුලේ දිවිගෙවන ඔවුන් කෙසේ අහාර සොයා ගන්නවා ඇතිද?”
ඔව් , එයට ඔවුන් අනුගමනය කාලේ අපුරු ක්‍රමයක්.ඇඳෙහි උඩු වියන අප නොදැන සිටියත් ; කුඩා කෘමි සතුන්ට නම් එය මාරක අඩවියක්. මොහොතකට ඔබ එවැනි කුඩා කෘමි සතෙක් ඇඳ වියනේ පිට පැත්තේ ගමන් කරනවා යැයි සිතන්න. හොඳින් අනුවර්තනය වුනු බිත්ති මකුළුවා සිටින්නේ ඔබ දුටු ඒ කෘමියා ගැන නිරන්තර අවධානයකින්. කුඩා මකුළුවා බලා සිටින්නේ උගේ ගොදුර ඇඳේ වියන මත මදකට නිශ්චල වී සිටින අවස්ථාවක් වෙනුවෙන්. ඒ උගේ විෂ දලය ඇඳේ වියනේ සිදුරු රෙද්ද හරහා කුඩා කෘමියාට ඇතුල් කිරීමට.
අවසානයේදී මකුළුවා සිදුකරන්නේ සිදුරු රෙද්ද හරහාම කෘදා කෘමියාගේ සාරය උරා බී තෘප්තිමත් දවසක් ගත කීරීම.
පාඨකයිනි , ඔබ අපුරු සිදුවීමක් ලෙස සිතන්නේ නැතිද?  මිනිසා තැනූ කෘතීම ලොවක “නොදියුණු” යයි සම්මත ජීවින්එවැනි අනුවර්තන පෙන්වීම පුදුම සහගත නොවේද? රස්තියාදුකාරයා අහම්බෙන් දුටු ඒ සිදුවීම ඔබට හොරා ඇතැම්විට ඔබගේ මදුරු දැලේත් සිදුවෙනවා ඇති.ඉතින් පාඨකයිනි නරකද අද රාත්‍රියේදී නින්දට පෙර ඔබ මේ පිළිබඳව විමසිලිමත් වුනොත් .............


*** 1867 පෙබරවාරි 07 වැනිදා විස්කොන්සින් මහා වනයේ කුඩා ලී නිවෙසක මෙලොව එලිය දුටු ලෝරා ගේ ළමා කාලය ගෙවුනේ ආවරණය කල ගැලක නැගී බටහිරට ගමන් කරමිනි.මුලින්ම කැන්සාස් හි රතු ඉන්දියානු ප්‍රන්තයටත් , ඉන්පසු මිනසෝටාවේ පළඟැටියන් ගේ දේශයටත් ගිය ඈ අනතුරුව ඩැකෝටා ප්‍රාන්තයට ගියාය.  ඈ අල්මන්සෝ වයිල්ඩර් සමඟ විවාහ වූයේ එහිදීය

ලෝරාගේ දියණිය වන රෝස් වැඩුනේ ඇගේ මවගේ කුඩා කාලයේත් , තරුණ කාලයේත් ඒ අපූරු කතාන්දර අසමිනි.1900 මුල භාගයේ ජනප්‍රිය ලේඛිකාවක වූ රෝස් , සිය මව ගේ ජිවිත කතා පුවත් යලි සිහිකරමින් ඒ කතාන්දර අසන්නට තමාත් ආසා කලාක් මෙන් අනෙක් ළමෝත් ආසා වනු ඇතැයි සිතුවාය.එබැවින් ඈ ඒ කතන්දර ලියන්නට සිය මව උනන්දු කළා ය.පසුව “ලිට්ල් හවුස්” කතා මාලාව බවට පත් වූ ප්‍රථම අත්පිටපත ලෝරා ගේ අතින් ලියවුනේ “pionneer girl” නමිනි.එයින් අල්මන්සෝ වයිල්ඩර් හා විවාහ වනතුරු ම ගෙවුණු ලෝරා ගේ මුළු ළමා වියම විස්තර කෙරිණි.....


                                                          -පෙරවදන , ලෝරා ගේ කෘතියේ සිංහල  පරිවර්තනය (මෙය පොත් පහකින් සිංහලට පරිවර්තනය වී ඇත) ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ඳ , විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය



****මොවුන් බිත්ති මුළු වල දකින්න ලැබෙන මිනිසාට  විෂ රහිත කුඩා විශේෂයකි. දේහ වර්ණය සුදු පැහැයේ සිට ලා රෝස පැහැයක් ගනී.සිරුරෙන් තරමක ගඳක් විහිදුවයි.


*****මකුළු පවුල් වල සාමාන්‍යයෙන් පිරිමි සතෙක් නැත.මකුළු සහවාසය අවසන් වූ වහාම මකුළු ගැහැණු සතා පිරිමි සතාව අහාරයට ගනු ලබයි.ඉහත මකුළු පවුලේ කතාව හුදු සාහිත්‍යමය කරුණක් පමණි.