Monday, October 28, 2013

එරල් මුහුද සහ නෝමැඩ් වරුන් ( අවසාන කොටස)



                               මාර්කෝ පෝලෝ සහ අපූරු මොන්ගොල් සිරිත්


වර්තමාන මොන්ගොල් ජීවිතය
“පෙරදිග ලෝකයේ අරුම”  දැඩි අතිශයෝක්ති ව්‍යවහාරයක් දක්නට ලැබෙන කෘතියක්,බොහෝ සාහිත්‍ය විචාරකයින් රස්ට්ලෝ වෙතට , තම අසහනකාරී මුහුණ උල් කර දත් පෙන්වා සිනාසීමටත් ඔහුගේ මෙම ලේඛන යවහාරය හේතුවන්නට ඇති.නමුත් රස්තියාදුකාරයා සිතන ආකාරයට රස්ට්ලෝ ගෞරවය පුදකලයුතු ලේඛකයෙක්.පමණට වැඩි අතිශයෝක්තිය වටිනා කෘතියක හැඩය “බොඳ කලත්” රස්ට්ලෝගේ “පෑන් හරඹය” මාර්කෝ ගේ දෙශාටනයට නව ජීවයක් ලබාදුන් බව සහතිකයි.
මාර්කෝගේ කෘතිය පුරාවටම රස්ට්ලෝ විසින් අඩංගු කර තිබුනේ ඔහුගේ චරිතාපදානයට සාපේක්ෂව ගමන්ගත් ඔහුගේ දේශාටනය.සැබවින්ම එය අපුරු සංකල්පයක්!
මාර්කෝ තමන්ගේ ජිවිත කාලයෙන් අඩක්ම ගතකලේ “මුහුණ රවුම්” මොන්ගොල්වරුන් සමඟ.මානව විද්‍යාවේ දැක්වෙන ආකාරයට මොන්ගොල්වරුන් මොන්ගොලයිඩ් මානව විශේෂයේ ප්‍රධානම පුරුක ලෙසත් හඳුන්වන්න පුළුවන්. “රවුම්  මුහුණු , කුඩා ඇස්  , මිටි සිරුරු ඔවුන් බැලුබැල්මට වෙන්කර ගැනීමට භාවිතා කරන නිර්ණායක කිහිපයක්.
රවුම් මුහුණු  , කුඩා ඇස්
මොන්ගෝල්වරුන්ගේ ව්‍යාප්තිය සැලකුවොත් ප්‍රධාන වශයෙන් ඔවුන් මධ්‍යම ආසියාවේත් , සුළුතරයක් ඇමරිකානු යුරේසියානු කලාප වලත් ජිවත් වෙනව. ආසියානු කලාපයේ මොන්ගොල්වරුන්ගේ විසිරීම සැලකුවොත් බහුතරයක් (90% පමණ) මොන්ගෝලියාව හා මොන්ගෝලියානු රුසියානු දේශසීමා හරහා දිවෙන බ්‍රයිරේශියා කලාපය (මෙය ආසන්න ලෙස බයිකල් විල හා කම්චැට්කාවේ සිට හොකයිඩෝ දුපත් වෙත දිවෙන කලාපයයි) හරහා පැතිරී සිටිනව.ඉතිහාසඥන්ගේ නිරීක්ෂණ අනුව මොන්ගොල් වරුන් කම්චැට්කා අර්ධද්වීපය හරහා කැනඩාවේ ඇලස්කාවේ ඇන්කරේජ් ප්‍රදේශය වෙත සංක්‍රමණය වී පසුව ඇමරිකාව වෙත විසිරි ගොස් ඇති බවක් පැවසෙනවා.
මොන්ගොල්වරුන් ගෙන් බහුතරයක් බෞද්ධාගමිකයන්. අනෙක් බහුතරය සශේමාන් නම් (බෞද්ධාගමට සමාන) ආගමක් හා ඉතාම සුළු පිරිසක් ඕතඩොක්ස් නිකායික ක්‍රිස්තියානි ආගම ඇදහීමක් දකින්න පුළුවන්.සාමාන්‍යයෙන් සම්මත පිළිගැනීම අනුව මධ්‍යම මොන්ගොල් වෙරුන් (මොන්ගෝලියාව නිජබිම කරගත්) දැඩි සටන්කාමි ජාතියක් ලෙසටත් බ්‍රයිරේශියානු මොන්ගොල් වරුන් සාමකාමී ජාතියක් ලෙසත් ප්‍රසිද්ධියට පත්වී තිබෙනව.
සරල මොන්ගොල් ජිවිත
මධ්‍යම මොන්ගොල්වරුන් පිළිබඳව සැලකුවොත් ඔවුන්ගේ දැඩි පිළිවෙත් සහිත වුනු සටන්කාමි ක්‍රමයේ ස්වර්ණමය යුගය සටහන් වන්නේ ජෙන්ගිස් ඛාන් ගේ පාලන සමය තුල. හිට්ලර්ට තිබුනාක් මෙන් දැඩි කුරිරු ප්‍රතිපත්ති නොතිබුනත් ජේස්ගිස් ඛාන් පුරා අවුරුදු කිහිපයක් සුපිරි අධිරාජ්‍යයෙකු ලෙස සමස්ත උතුරු යුරේශියානු කලාපයම තම පාලනයට නතුකරගනු ලැබුවා.නමුත් මාර්කෝතම දේශාටනය සිදු කලේ ඊට පෙර කුබිලායි ඛාන් රජුගේ පාලන සාමය තුල.මෙහිදී රස්ට්ලෝගේ කෘතියේ මාර්කෝ පවසන ආකාරයට මොන්ගෝලියානුවන් බොහොම සරල නමුත් විකාරරුපි සිරිත් විරිත් වල ගැලුන අමුතු ජීවින් කොට්ටාශයක්.
සමස්ත කසාක්ස්ථාන මොන්ගෝලියානු මහා තැනිතලාව පුරාවටම විසිරි සිටින මොන්ගොල්වරුන් අශ්වයා තම යැපීමේ සංස්කෘතිය කරගත් මිනිසුන් විශේෂයක් .ඔවුන්ගේ ආහාර පුරුදු , රටා , ගමනාගමනය , මේ සෑම දෙයක්ම රඳා පවතී ඇත්තේ එම කකුල් සතරේ සොඳුරු සත්වයා මත.අශ්වයින්ගේ කිරි , ලොම් , මේදය , මස් ; මේ හැම දෙයක්ම මොන්ගෝලියානුවන් ඇතුළු සමස්ත මොන්ගොල්වරුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු  වටිනා ත්‍යාගයක්.
වල් අශ්වයින්
සාමාන්‍යයෙන් මොන්ගොල්වරුන්ගේ ව්‍යාප්තිය මහා ස්ටෙප්ස් තෘණ භුමි ආශ්‍රිතව වාර්තා වුවත් ඔවුන්ගේ සැලකියයුතු (නමුත් ඉතා කුඩා) ජනගහනයක් රුසියාවේ ගෝබි කතරේදීත් දැකිය හැකියි.ගොබි කතර ගැන පුංචි සඳහනක් කලොත් , රස්තියාදුකාරයාට දැනෙන ආකාරයට එය පාඨකයන්ට සුළුවෙන් හෝ වැදගත් වේවි.
ගෝබි කතර රුසියානු මොන්ගෝලියානු දේශසීමා අතර පිහිටි සුවිසල් නිසරු බිමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.කර්කටක නිවර්තනයටත් (උතුරු අක්ෂාංශ අංශක 23 හමාර )  ඉහල අක්ෂාංශයක පිහිටි නිසා එය ලොව තිබෙන සුපිරිතම ශීත කාන්තාරය ලෙසත් පිළිගැනීමක් තිබෙනව.ගෝබි කතර විශාලත්වයෙන් හැම අතින්ම දකුණු බොට්ස්වානා හි කලහාරි කතරට යම් සමාන බවක් දක්වනව.
රස්තියාදුකාරයා පාඨකයින්ට පුංචි ප්‍රශ්නයක් යොමුකරන්නම්,
වඩා භයානක උෂ්ණ කලාපිය කාන්තාරද? නැතිනම් ශීත කලාපිය කාන්තාර ද?

 මේ ප්‍රශ්නෙට පිළිතුරු සිතීමේදී ඔබ බොහෝවිට පිළිතුරු දෙකක් අතර සිරවෙයි.නැතිනම් කාන්තාර කියන ජාතිය කොහොමත් භයානකයිනෙ” කියා සිතයි.
නමුත් සංසන්දනයේදී වඩාත් කටුක වශයෙන් පිළිගන්නේ ශීත කලාපිය කාන්තාරයන්.   

සිතන්න , ඔබ සීත කලාපිය කතරක තනි වුනා කියාත් , රස්තියාදුකාරයා උෂ්ණ කලාපිය කතරක තනිවුනා කියාත්. නැතිනම් සරලව ඔබ ගෝබියේ බවත් රස්තියාදුකාරයා සහරාවෙහි තනිවුනා කියාත් මොහොතකට සිතන්න. දැන් අපි පුංචි සංසන්දනයක යෙදෙමු.

රස්තියාදුකාරයාත් , ඔබත් නිමක් නොමැති ගමනක ...
ගෝබියේ ජීවිතය

රස්තියාදුකාරයාගේ මිලිලීටර් පන්සීයක බෝතලයේ වතුර ටික අහවරයි.නමුත් ගෝබියේ තනිවුනු ඔබ ; ඒ හිම වැටෙන සීත කාලය නම් රස්තියාදුකාරයාට වඩා වාසනාවන්ත වේවි.මොකද ඔබට පිපාසෙට සීතල හිම දියකර බොන්ට පුළුවන්.නමුත් අනිත් හැම අතින්ම ඔබ අවාසනාවන්තයි පාඨකය.
ඔබට දරාගත හැකිද ඍන සෙල්සියස් අසුවක නැත්නම් සියයක උෂ්ණත්වයක්?
ඔබ සීතල ජලය පානය කර වැඩිම වුනොත් කිලෝමීටර් භාගයක් ඉදිරියට යයි.නමුත් ඔබ ඒ ක්ෂණයේම දෙපයින් ඇද වැටෙයි , ක්ෂණික මාංශ පේශි ගල්වීම නිසා.එවිට ඔබ අදාළ පරිසරය පිළිබඳව හොඳ වැටහීමක් තිබෙන කෙනෙක් නම් ඔබ ඇඟලා සිටින සීත කබාය ගලවා ඔබගේ කකුල් මත තදින් අතුල්වයි. එවිට ඝර්ෂණය නිසා මාංශ පේශි රත්වීමෙන් ඔබ යථාතත්වයට පත්වේවි. නමුත් ඔබ ආධුනිකයෙක් නම් ?...

:)

පාඨකය මතක තබාගන්න , ඒ ඔබේ අවසානයයි.ඔබ ඉහත ක්‍රියාමාර්ගය අනුගමනය නොකලා නම් ලේ ගමනාගමනය නැතිවීමෙන් ක්‍රමයෙන් කකුලේ පටක මියැදීමට පටන් ගනීවි.ස්නායු මියයාමෙන් ඔබට ඔබේ කකුල පිළිබඳව ඇති දැනීම නැති වී යාවි...
...ඔව් , ඔබේ කකුල දැන් මියගොසින්.ඔබටත් ක්‍රමයෙන් සිදු වන්නේ ඔබේ කකුලට සිදු වූ දෙයමයි.නමුත් මියයාමට පෙර ඔබට බඩගිනි නම් , බඩගින්නේ මියයාමට අවශ්‍ය නැතිනම් ඔබට ඔබගේ කකුල ආහාරයට ගත හැකියි.ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය සවිමත් කියත් දැති තලයක් සහිත පෑන පිහියක් පමණයි.!
ඔව් පාඨකය ඔබට එය උත්සාහ කර බැලිය හැකියි.සෙන්නාගේ“දොරුව පරාදයි” මෙන් එය වේදනාකාරී දෙයක් නොවෙයි.එය ඔබට රුධිර වහනයෙන් තොර ක්ෂණික ආහාරයක් වෙයි!

ඔබ සිතනවාද රස්තියාදුකාරයා ගල් බාගයක් ගසා මෙම පොස්ටුව ලියන්න අවතීර්ණ වූවා කියා? , තමන්ගේම කකුල තමන්ම කන්න?! 

හිම මිදුණු පාවෙක් (ස්තුතිය එලේනා පොල්‍යන්ස්කායාට 
Спасибо за Еленой Полянской)
නමුත් පාඨකය , එය බොහොම කෘර කටුක සත්‍යයක්.මේ බව රස්තියාදුකාරයාට පැවසුවෙත් පාවෙක් නෝමැඩ්වරයෙක්.ඒ ඔහුගේ සොයුරා හිමේ අතරමං වු සිද්ධියක් සිහිකරමින්.මේ පිළිබඳව ලිඛිත සාක්ෂියක් ඔබට ලබාගත හැකියි “සුදු මෝරා” ලෙසින් සිංහලයට පරිවර්තනය කෙරුණු සුප්‍රකට කෘතිය කියවිමේදීත්.ඒ වගේම ඉන්දියාවේ හිමාලය ආශ්‍රිතවත් මෙවැනි බියකරු සිදිවීම් සිදුවුන බව රස්තියාදුකාරයා අත්දුටු දෙයක්.
අපගේ සංසන්දනයේදී ඔබ පළමුවෙන් මියයාවී.නමුත් රස්තියාදුකාරයාත් දෙවනුව මියයාවී.
ඉතින් පාඨකයිනි වෙනස් කරන්න ඔබගේ ශබ්ද කෝෂය,
“කාන්තාරය හා කනත්ත යනු වචන දෙකක් නොව එකක්” ලෙසට!..........



මොන්ගොල් ලේ තිබෙන සෑම ජාතියකම ගෝත්‍රිකයින් ඉතා ත්‍යාගශීලි මිනිසුන් විශේෂයක්.ඇත්තටම එය පමණට වැඩි ත්‍යාගශීලි බවක්!
ගෝබියේ ටුබී නෝමැඩ්වරයෙක්  (internationalreportingproject.org වෙතිනි)
රස්තියාදුකාරයා ඔබට මොන්ගොල් වරුන්ගේ අපුරු ත්‍යාගශීලි සිරිතක් පිළිබඳවත් සඳහන් කරන්නම්.මේ පිළිබඳව සඳහන් වෙන්නෙත් මාර්කෝ ගේ දේශාටන වර්තාවේමයි. රස්ට්ලෝ හා මාර්කෝ සඳහන් කරන ආකාරයට , විවාහක මොන්ගොල් පවුලක් සිටින ගෙයක නවාතැන් ගැනීමට සංචාරකයෙක් (පිරිමි) පැමිණියොත් ගෙහිමියා අදාළ දිනයට කාන්තාව සංචාරකයාට බාරදී වෙනත් ගෙදරක නවාතැන් ගන්නවාලු !

හිතවත් පාඨකයිනි සිතාබලන්න...
ඔබ ගෝත්‍රිකයෙක් වුවා නම් ඔබේ බිරිඳව සංචාරකයෙක්ට බාරදී වෙන ගෙදරකට නවාතැන් ගන්න යනවාද?
ඔබ ඔබේ බිරිඳව වෙනත් කෙනෙකු ස්පර්ශ කරනවාටවත් කැමතිද?

මේ සිරිත වර්තමානයේ ක්‍රියාත්මක නොවුනත් මාර්කොගේ දේශාටන වාර්තාවේ සඳහන් වුනු එය එහි ප්‍රධානම පරිච්චේද අතරින් එකක්.නමුත් රස්තියාදුකාරයා ටුබී ගෝත්‍රිකයන්ගෙන් අසා දැනගත් ආකාරයට මෙය මොන්ගෝලියාවේ ඇතැම් “තනිවූ” කඳුකර ගෝත්‍ර අතර දැනටමත් පවතින සිරිතක්.මෙයාට හේතුව බටහිර සමාජයට සාපේක්ෂව  බලන ඔවුන්ගේ නුගත්කම ද? නැතිනම් කාන්තාවට ඒ සමාජයේ ඇති නොසැලකිලිමත් බවද?
මෙයාට අදාල නොවුනත් “ආසියාවේ  අශ්චර්යයේ”  මෙවැනි දෑ සිදුවන්නේ නැතිද? තමන්ගේ බිරිඳව ගණිකා වෘත්තියට යොදවන ස්වාමිපුරුෂයන් නැතිද? ඔබ සිතන්නේ නැතිද කාන්තාවගෙන් යැපෙන ආර්ථිකයක් ඇති මෙවැනි රටක සෑම ස්වාමිපුරුෂයෙක්ම ඒ ගැන ලජ්ජාවට පත්විය යුතු බව?
අතවර කිරීම් , බලහත්කාරකම් , දුෂණ ; මේ සෑමදෙයක්ම මිනිසා නමැති සත්වයාගේ රැකවරණය බලාපොරොත්තු වෙන කාන්තාව නමැති සත්වයා ඉවසිය යුතුද?  ....
සීතල පාවෙක්

සම්ප්‍රදායික නෝමැඩ් සංගීතය

 ප:ලි - ඇන්කර්ඒජ් යනු වත්මන් ඇලස්කාවේ අගනගරය යි. එය කැනඩාවේ නගරයක් නොවේ. නිවැරදි කල ඇනෝනිමස් කියවන්නාට රස්තියාදුකාරයාගේ ස්තුතිය

සඳහන් නොකළ ඡායාරූප උපුටාගැනීම  - වෝක්ස් පොපියුලි .kz
බාහිර මුලාශ්‍ර - ට්‍රැවල් ටු ඊස්ට් ඒෂියා 1882 නියෝර්ක් පුස්තකාලය (ගුගල් ඩොක්ස් හි ඇත)
                       ද නෝමැඩ්ස් 1952 , රාජකීය මුද්‍රණාලය එක්සත් රාජධානිය
                       නෝමැඩ්වරුන් , විකිපීඩියා විශ්වකෝෂය
                       මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (සිංහල අනුවාදය)
                       මාර්කෝපෝලෝ ගේ දේශාටන වාර්තාව (ඉංග්‍රීසි අනුවාදය)
                       ලයිෆ් ඉන් මොන්ගෝලියා 2003 , හන්ට්බර් ඇන්ඩ් විස්ට් ප්‍රකාශකයෝ ස්විස්ටර්ලන්තය




Monday, October 7, 2013

එරල් මුහුද හා නෝමැඩ්වරුන්




එරල් හි නෝමැඩ්වරයෙක්

















අධික උෂ්ණ බවක් නොතිබුනත් , ලුණු මිශ්‍ර වියලි සුළඟ එරල් වෙත ගමන් කරන සංචාරකයෙක් ව පිපාසයෙන් පිඩාවට පත් කරන්න සමත් එකක්.කාල්ස් පියතුමාගේ මගපෙන්වීම අනුව රස්තියාදුකාරයා ඊසොප් මහත්මයාගේ මාළු කඩය සොයාගෙන ගම වටේ ඇවිද්ද.එරල් මුහුදේ නැගෙනහිරට වෙන්න පිහිටලා තිබුන මේ පුංචි ගමේ මසුන් වෙළඳාම් කරන කඩ තුන අතරින් කරවල වෙළඳාම් කරන එකම කඩය අයිති වුනේ ඊසොප්ට.ඊසොප් මුස්ලිම් - කසාක්ස්ථාන මිශ්‍ර ජාතිකයෙක්.නමුත් ඔහු ඇදහුවේ යුදෙව් ක්‍රිස්තියානි ආගම.කාල්ස් පියතුමා ගැන සඳහනෙන් පස්සෙ ඊසොප් කැමැත්තෙන්ම රස්තියාදුකාරයාට තමන්ගේ සුන්දර ඒ වුනත් කටුක එරල් ගම්මානය පෙන්වන්න ඉදිරිපත් වුනා.
ඊසොප්

ඊසොප් ගැන සඳහන් කලොත් ඔහු තමන්ගේ ගම ගැන බොහොම ආඩම්බර වෙන ටිකක් විතර පෞරාණික විදිහට වර්තමානය පිළිබඳව සිතන පුද්ගලයෙක්.ඒ වගේම ඔහු ධීවර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙක්.ඊසොප් සඳහන් කළ ආකාරයට එරල් අවට ජනාවාස වීමේ ආරම්භය සටහන් වෙන්නේ ක්‍රි.පු 20 වෙනි සියවසේ සුමේරියානු සමයේ අවසානයත් සමග.ඉපැරණි මුලාශ්‍ර වල සඳහන් ආකාරයට ඒ සශ්‍රික එරල් පලාතට නෝමැඩ්වරුන්ගේ පැමිණීමත් සමඟ. නෝමැඩ් කියන වචනයෙන් හැඟවෙන්නේ සංචාරක එඩේරා කියන අර්ථය. රස්තියාදුකාරයාට දැනෙන ආකාරයට නෝමැඩ්වරුන් ලෝකයේ ප්‍රධානම නිදහස්කාමී ජනකොට්ඨාශය විදිහටත් හඳුන්වන්න පුළුවන්.අසීමිත ලෙස සැහැල්ලු ජිවිත , ඩොලරය මත නොයැපෙන සංස්කෘතිය ඔවුන්ගේ නිදහස් බවේ සංඛේතයක්. රස්තියාදුකාරයා සිතන විදිහට සැබෑ නිදහස එකතරා ආකාරයක භුතාර්ථයක්.ඔබ සිතන විදිහට එය එසේ නොවෙන්නත් පුළුවන්.ඇතැම් විටක යම්කෙනෙක් නිදහසට කම්මැළි බවේ අර්ථවාදී නිරුපනයක් ලබාදෙන්නත් පුළුවන්.එහෙව් එකේ අපට සදාකාලික නිදහසක් හිමිද? මේ රස්තියාදුකාරයා හිතවත් පාඨකයන්ට යොමුකරන ප්‍රශ්නය.ඔබ සිතන්නේ නැතිද ලෝකයම විකාරරූපී “රියැලිටි” , “වර්චුවල්” යථාර්තයක් ලෙස?   
අතහැරදැමුණු ධීවර යාත්‍රාවක්
රස්තියාදුකාරයාට මේ ආකාරයට ප්‍රශ්න නගන්න සිදු වුනේ යම් පුද්ගලයෙක් දේශාඨන වාර්තාවේ කමෙන්ටුවකින් රස්තියාදුකාරයාට කල හෙලිදරව්වක් නිසාවෙන්.අපි දැනට ඔහුට  “හාවා” කියා පවසමු. “හාවා” යනු භයානක බලවත් යතාර්ථයක්.ඔහු රස්තියාදුකාරයාට දමා ගැසුවේ ගස් ගල් වලින් නොවුනත් මිනිසාට සදාකාලික ආයුධයක් වන “සත්‍යය” ඒක් ආකාරයක වැරදිකාරයෙකු වන රස්තියාදුකාරයායාගේ හෘදය සාක්ෂියට තට්ටු කරනට සමත් වුනු දෙයක්....
නෝමැඩ්වරුන්ගේ භූගෝලීය ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන්ම සටහන් වන්නේ තැනිතලා (වියලි ස්ටෙප්ස් හා සිශිර  ස්ටෙප්ස් තෘණ බීම්) , කාන්තාර හා තුන්ද්‍රා බීම්(හිමපතනයක් සහිත) ආශ්‍රිතව.අප රටේ මධ්‍යම තැනිතලාවේ දකින්න පුළුවන් “ජිප්සිවරුන්” (අහිකුන්ඨිකයින්) අතීත නෝමැඩ්වරුන්ගේ වර්තමාන ප්‍රතිමුර්තියක්.
නෝමැඩ්වරුන්ගේ ජීවිතය බොහොම සරලව ගෙවුනත් ඔවුන්ගේ සංස්කෘතිය අතුපතර විහිදුනු සංකීර්ණත්වයට පත්වුණු දෙයක්.සාමාන්‍යයෙන් නෝමැඩ්වරුන් සමාජ විද්‍යාවේදී හැඳින්වෙන්නේ නිශ්චිත නිවාසයක් නොමැති උදවියක් ලෙස.සමාජ විද්‍යාවේදී එසේ සඳහන් කලත් නෝමැඩ් යන්න ග්‍රීක අර්ථ නිරුපනයක් විකෘති කිරීමෙන් ගොඩනගා ගත්තක්.”ගවයින්ගේ තණබිම් උදෙසා නන්නත්තාර ඉබගාත වී ගමන් කිරීම” ඉපැරණි ග්‍රීකයින් තමන්ගේ සහ තම වර්ගයාගේ පැවැත්ම සහතික කරගැනීමට අනුගමනය කල එක්තරා ආකාරයක උපක්‍රමයක්.වැඩවසම් ආර්ථික ක්‍රම , එකතැන සිටගත් මිනිස් ජිවිත ඔවුන් අතර වර්තමානයේත් උපහාසයට ලක්වන්නක්.බොහෝවිට නෝමැඩ්වරුන් අතර දක්නට ලැබෙන්නේ පොදු සංචරණ රටාවක්.රස්තියාදුකාරයාට දකින්න ලැබුණු “නන්නත්තාරේ ඉබාගාතේ යන්නන්ගෙන්”  බහුතරයක් කැරවෑන් සහ පාගමනින් සංචරණය වන්නන්.අප රටේ අදිකාලින් වැද්දන් , ඕස්ට්‍රේලියානු අබෝරිජිනියන් වරුන් , නිරිතදිග ආසියාවේ නෙග්‍රීටෝවරුන් , ධ්‍රැවක කලාප වල ජිවත් වන ඇස්කිමෝවරුන් මෙන්ම ඇමරිකානු රතු ඉන්දියන් වරුන් පාගමනින් සංචරණය වීමට ඇබ්බැහි වුනු උදවියක්.
ඔබ අසා තිබෙනවාද රෝමානු ජිප්සි වෙළඳුන් නැතිනම් අයිරිෂ් සංචාරකයන් පිළිබඳව?
රෝමානු ජිප්සින් නැත්නම් අයිරිෂ් සංචාරකයින් ප්‍රධාන වශයෙන් ගොඩබිම සංචරණය කරමින් වෙළඳාම් කරන වෙළඳුන් විශේෂයක්.කැරවෑනය ඔවුන්ගේ සරල ජිවිතයේ අගය කියාපාන බොහොම වටින සංඛේතයක්.ඔවුන්ගේ මේ රෝද සවිකරන ලද පුංචි ගෙවල් වල බොහෝවිට පවුලේ සාමාජිකයින් පස්දෙනෙක් පමණ බොහොම සංවිධානාත්මක ජිවිතයක් ගතකරන ආකාරය ඒ පිළිබඳව අධ්‍යනය කරන පුද්ගලයෙකුට දකින්න පුළුවන් දෙයක්.එය බොහෝ විට අවුරුදු දහස් ගණනක සිට ඔවුන් ගෙනා පුරුදු වල ප්‍රතිඵලයක් වෙන්න ඇති.බොහෝවිට අයිරිෂ් ග්‍රීක සංචාරක වෙළඳුන් විවිධ අත්කම් වගේම සත්ව ආහාර වෙළඳාමට විශේෂයෙන් මහද්වීප තුල සංචරනයේදී මුල් තැනක් ලබා දීම සිදුකරනව.
නෝමැඩ් ගැහැණියක්

සෑම කැරවෑන් හිමි නෝමැඩ්වරයෙක් සතුව බැටළු පට්ටියක් නැත්නම් එළු පට්ටියක් අනිවාර්ය අංගයක්.ඒ වගේම සත්ත්ව පාලනයට යොදා ගන්න සුවච කීකරු දඩබල්ලන් දෙදෙනෙකුත් නෝමැඩ්වරුන් සතුව තිබෙන අත්‍යාවශ්‍යය අංගයක්.බොහෝ නෝමැඩ්වරුන් එළුවන් බැටළුවන් වැනි සතුන් ඇතිකිරීමට යොමුවුනත් කසාක්ස්ථානයේ එක නෝමැඩ් කොට්ඨාශයක්  ඒ සම්ප්‍රදායෙන් බැහැරවිමක් පෙන්වනව.රස්තියාදුකාරයාව පුදුමයට පත්කරවමින් ඔවුන්ගේ පට්ටි වල ඇති කෙරුනේ පිණි මුවන්(ඒ ගැන ඉදිරියට).මිට බොහෝම සමාන නෝමැඩ් කොට්ටාශයක් රස්තියාදුකාරයාට දැකගැනීමට ලැබෙනවා උතුරු රුසියාවේ හිම මිදෙන පාවෙක් ආශ්‍රිත ප්‍රදේශයේදී.පිනිමුවන් ඇතිකරන කසාක්ස්ථාන නොමඩ් වරුන්ට වඩා බොහොම දැඩි මතධාරී , දරුණු මිනිසුන් විශේෂයක් ලෙසත් රුසියානු පාවෙක් නොමඩ් වරුන් පිළිබඳව රස්තියාදුකාරයාට සඳහන් කරන්න පුළුවන්.හිම වලස් හමෙන් නිර්මානය කල කබා හැඳගත් ඔවුන් දකින පුද්ගලයෙකුට දැනෙන්නේ තමන් ඉදිරියෙන් ගුප්ත මිනිසුන් කණ්ඩායමක් ගමන් කරනවාක් වැනි හැඟීමක්.පාසල් සමයේදී  මිතුරන් සමග මෙන් ඔවුන්  කතාකරන සෑම වචන හතරකටම මුසුවුණු  කුනුහර්පමය වචන තුන නිසා රස්තියාදුකාරයාට සිහිවුනේ ඔහුගේ විකාරරුපි පාසැල් කාලය.
රස්තියාදුකාරයා ලැබූ අත්දැකීමේ හැටියට ඕනෑම රළු මිනිසෙක් තුල තිබෙන ක්ෂණිකව උණුවන යටි හිත මේ රුසියානු ගෝත්‍රිකයන්ටත් පොදු දෙයක්.තරමක් වියලි සමකට උරුමකම් කියන රස්තියාදුකාරයා සෙල්සියස් අංශක -50ක පමණ උෂ්ණත්වයක් තිබෙන කලාපයකට අඩිය තබන සම විටකම කකුලේ සම ඉරිතලා ලේ ගැලීම සුලභ අත්දැකීමක්.මෙවන් විටක රස්තියාදුකාරයාට නොවැරදීම පිහිටවන එකම ඖෂධය වුනේ පෙට්‍රෝලියම් ජෙලි නැත්නම් වැස්ලින් ආලේපනයක්.
පිණි මුව පට්ටියක්
ආලේපනය නවාතැනේ අතපසුකර දමා හිම මිදෙන උතුරු සයිබීරියාවේ දී  මිදුණු ලේ කැටිති සහිතව හිඳගෙන සිටි රස්තියාදුකාරයාගේ පිහිටට පැමිණියේ රළු නොමඩ් වරුන්.වේදනාවෙන් සහ සීතලෙන් ක්ලාන්ත වීමට අසන්න ව සිටි රස්තියාදුකාරයාගේ සමේ ඔවුන් අලේප කළේ පිනිමුවාගේ මේදය.උණුවතුර සමග තිත්ත වෙනිවැල්ගැට පානය කිරීමට අනේකවිධ රුසියානු කුණුහරප කියමින් රස්තියාදුකාරයාට බලකළ නොමඩ් ගැහැණිය පිළිබඳව රස්තියාදුකාරයාට දැනටමත් තිබෙන්නේ හාස්‍ය මුසුවුණු මතකයක් වගේම දැඩි ගෞරවයක්.
ශිත කලාපිය නෝමැඩ් වරුන් ඒ ඒ රටවල විනිමයට සාපේක්ෂව ප්‍රමාණයෙන් ඉහල වාර්ෂික ආදායමක් ලබාගන්නා උදවියක්.පිනිමුවන්ගේ අඟ , ලොම් වග්ගේම පිනිමුවන්ගේ මේදය ඔවුන්ගේ ප්‍රධානම අදායම් මාර්ගයක්.පිනිමුවාගේ අඟෙන් ලබා ගන්න රුධිරය ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් දෙදහසකුත් ඉක්මවන බව ඔබ දන්නවාද? එයට හේතුව අඟ ආශ්‍රිතව ඇති පිනිමුව රුධිරයේ අඩංගු ඉහල ප්‍රති ඔක්සිහාරක හැකියාව බව ඒ ගැන සුළු විපරමකින් පසුව රස්තියාදුකාරයාට දැනගැනීමට ලැබුන....


පිනිමුව රුධිරය එකතු කීරීම

එරල් අවට ප්‍රදේශයේ ජනතාව වගේම අවට කුඩා ගම් වල වෙසෙන ජනතාව බොහෝ දුක් කම්කටොලු විඳින ජන කොට්ඨාෂයක්.ඔවුන්ගේ ජිවිතත් අප රටේ පොළොන්නරු වාසින් අතරත් ඇත්තේ වෙන්කළ නොහැකි සමානත්වයක්.උෂ්ණාධික පොළොන්නරුව ආකාරයටම එරල් අවට සෑම ගම්මානයකම මිනිසුන් නිශාචර දිවිපෙවෙතකට හුරුවුණු උදවියක්.මැදියම් රැය වනතුරු විවෘත වුනු කඩපිල් , රාත්‍රියම ගොඩ ගොවිතැනේ යෙදෙන ගොවින් , මසුන් මරන්නන් , මෙහෙත් බොහම සුලභ දසුනක්.
කසාක්ස්ථාන ජාතිකයින් පිළිබඳව සැලකුවොත් ඔවුන් මොන්ගෝලියානු ලේ මිශ්‍ර මිනිසුන් විශේෂයක්.නමුත් එරල් ආශ්‍රිත ජනතාව පෙනුමෙන් වඩාත් ලංවුණේ මධ්‍යධරණි  බෝල්ටික් ප්‍රදේශ වල මිනිසුන්ගේ ස්වභාවයට.
මාර්කෝ පෝලෝ (විකිපීඩියාවෙනි)

ඔබ කවදා හරි කියවා තිබෙනවාද මර්කොපොලෝගේ දේශාඨන වාර්තාව?      රස්තියාදුකාරයාට මතක හැටියට එය සුරිය ප්‍රකාශකයින් නැත්නම් විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත්කෙරුණු පරිවර්තන ග්‍රන්ථයක්. රස්තියාදුකාරයාට ප්‍රත්‍යක්ෂ වුණු මොන්ගෝල් සහ මොන්ගෝල් ලේ මිශ්‍ර ජාතීන්ගේ ත්‍යාගශිලිත්වය පිළිබඳව අපුරු කතාවක් මාර්කෝපෝලෝ තමන්ගේ දේශාටන සටහනේ සඳහන් කර තිබෙනව.
මාර්කෝ පෝලෝ නැත්නම් මාර්කෝ පාවුලෝ (ඉතාලි) යන දේශාඨකයා ඉතාලිය නිජබිම කරගත් වෙළෙන්දෙක්.ඔහුගේ උපත සිදුවූ වසර ලෙස සටහන් වෙන්නේ ක්‍රි.ව 1254 වැනි අවුරුද්ද.එවකට වැනීසියානු රිපබ්ලිකනයේ උපත ලැබුව ඔහුගේ මව නිකොලි ආනා නමැත්තියක්.පියා නිකොලෝ පෝලෝ නැමැත්තෙක්.මාර්කෝ පෝලෝ සාමාන්‍ය ගොඩබිම් වෙළෙන්දෙක් වුනත් ඔහු සමකාලින වෙළෙන්දන් සමග සසඳන විට අමුතු ගතිපැවතුම් තිබුණු පුද්ගලයෙක්.ඉතිහාසඥයින් සඳහන් කරන ආකාරයට මාර්කෝ පෝලෝ තමන්ගේ ගමන ඇරඹු දිනයක් ගැන නිශ්චිත සටහනක් තබා නැහැ.නමුත් කුබිලායි ඛාන් රජුගේ පාලන සාමය ඇතුලත හා චාරිකාවේ පළමු භාගය නිමවීමෙන් ඔහු ඔහුගේ දෙමාපියන් හමු වන විට මාර්කෝ ගේ වයස අවුරුදු 17 ක් වූ නිසා පුංචි මාර්කෝ ගේ රස්තියාදුකාර වානිජමය දේශාටනය ක්‍රි:ව 1254ත් 1264ත් අතර ඇරඹුණු බව අනුමාන කල හැකියි.දැන් හිතවත් පාඨකයන්ට සිතෙයි කුඩා ළමයෙක්  දෙශාටනයේ දීම අරුමයක් ලෙස!.ඔව් , එසේ වුවා නම් එය අරුමයක්ම තමයි. රස්තියාදුකාරයාටත් තරමක ගැටළුවක් බවට පත්වෙමින් තිබුණ එය අවසානයේ නිරාකරණය කාලේ රස්තියාදුකාරයාගේ බිරිඳ විසින්.ඇය සඳහන් කල ආකාරයට මර්කොගේ චාරිකාවේ භාරකරු ලෙස කටයුතු කර තිබුනේ ඔහුගේ මාමා කෙනෙක්.
මාර්කෝ පෝලෝගේ මුල් කෘතිය

මාර්කෝ තම මාමාත් සමග ආසියාවට වෙළඳාම සඳහා ගිය අවස්ථාවේදී අහම්බයකින් කුබිලායි ඛාන් රජු හමුවීමට අවස්ථාව උදා වෙනව.කිසිදිනක යුරෝපියන් දැක නොතිබූ කුබිලායි ඛාන් රජු ඔවුන්ව ඉතා ගරුකටයුතු ලෙස පිලිගත් බවක් තමයි මුලාශ්‍ර සඳහන් වන්නේත්.පසුව ඔවුන් රාජ තාන්ත්‍රිකයින් ලෙසින් තම රජයට බඳවා ගත බවත් , පර්සියාවේ රජුට බිසවක් සොයාගැනීමට කටයුතු කල බවත් සඳහන්.මාර්කෝ කිසිදිනක අප රටට පැමිණ තිබුනේ නැතිවුනත් ඔහු ගමන්ගත් නැව ත්‍රිකුණාමල වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබුන බවක් ඔහුගේ ග්‍රන්ථයේ ඇතුලත් වෙනව.එහිදී ඔවුන් ත්‍රිකුණාමලය හඳුන්වාදී ඇත්තේ “සමෘදිමත් ජාතියගේ තොටුපල” යන අනවරත නාමයෙන්.
අවසානයේ මාර්කෝ පෝලෝ සිරබාරයට ගැනුණු බවට සඳහන් වුවත් ඒ කුමන හේතුවක් නිසාද යන්න අපැහැදිලි කරුණක්. ජිනෝවා සිරගෙදර ඔහුගේ සිරකුටියේ සිටි අනෙක් හවුල්කරුවා වුනේ රස්ට්ලෝ ඩා පිසා නම් තැනැත්තෙක්.දේශපාලන සිරකරුවෙක් ලෙස සිරගෙයට නියම වූ ඔහු ඒ අවධියේ සිටි ප්‍රකට ලේඛකයෙක්.මාර්කෝ තම දිගු කතාව රස්ට්ලොට පැවසීමත් , අතිශයෝක්ති ලේඛන ව්‍යවහාරයක් තිබු රස්ට්ලෝ ඔහුගේ කතා අලලා කෘතියක් ලිවීමට මාර්කෝගෙන් අවසර ලබා ගැනීමත් “නිහඬ” මර්කොගේ දිවියේ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වෙනව. “පෙරදිග ලෝකයේ අරුම” ( Livere Merveilles du monde - පැරණි ප්‍රංශ) නමින් ක්‍රි:ව 1300 දී දොරට වැඩුණු එම කෘතිය කෙටිකලකින් යුරෝපය පුරා ඉතා ජනප්‍රිය කතාංගයක් බවට පත්වීමත් සිදුවෙනව.......  

 ප:ලි    අයිරිෂ් සංචාරකයින් සහ රෝමානු ජිප්සින් යනු දෙගොල්ලක් බව සලකන්න...



මුලාශ්‍ර ලැයිස්තුව හා ඡායාරූප සඳහා උපුටා ගැනීම් සඳහා මුලාශ්‍ර වෙත පිවිසෙන්න
Нажмите здесь для справки и фото кредитов
დააწკაპუნეთ აქ მინიშნება და ფოტო კრედიტი
Klicken Sie hier für die Referenz-und Foto-Credits 
cliquez ici pour référence et photo crédits
smelltu hér til hliðsjónar og ljósmynd ein