Wednesday, November 26, 2014

රස්තියාදුකාර දේශාටනය -- අල්තායි කඳු හරහා ...

රස්තියාදුකාර දේශාටනය  -- අල්තායි කඳු හරහා ...


---හැඳින්වීම
------ජන ජීවිතය
---------දඩයක්කරුවන් හමුවීම
------------රන් කඳුවැටියේ විල් මැද
--------------සායන් කඳු හරහා
------------------වල් නරි දඩයම 


පොඩ්ඩක් ප්‍රමාද වුනාද මන්ද  :) 


ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න. ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න.


අහස් ගව්ව ඇල්ලීම
අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ  උන්නතාංශය සලකුණු කරනව.
හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක්  හමාගෙන යනව.කුරු ගස් වැල් , වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව. ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක්  මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව.එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව.

මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන් උපරිම  කටුක විදිහට ; ඒත් උපරිම සුන්දර විදිහට.
අල්තායි වලට ජිවිතේ විඳින්න යන කෙනෙක් මුලින්ම තමන්ට හිතාගන්න බැරි තරං හුදෙකලාවකට අහුවෙනව.ඒත් දවස් කීපයක් ගතවෙනකොට ඒ සංචාරකය ඒ ජීවිතේට හිතාගන්න බැරි තරං ආදරේ කරන්න ගන්නව. ඔහුට/ඇයට ජිවිතේ දැනෙන්න ගන්නව.

අල්තායි වල තියෙන්නෙ සිතල ඇල්පයින් දේශගුණයක්.ඈත කෙළවරක් නොපෙනෙන කඳු මුදුන් සීතල හිම තට්ටුවකින් වැහිල තියෙනව.පුංචි පුංචි පර්නාංග , මිවන ශාක ගස්කඳන් වහගෙන ජිවත් වෙන්න සටනක් ගෙනියනව.බිම තැනින් තැන තද පාට ,ගොඩක් ලස්සන මල් පිපිල තියෙනව.සමහර විට ඒව දවස් ගණනක් යනකන් අල්තායි බිම ලස්සන කරන්න කැපවෙලා ඉන්නව.


වලාකුළු වලට පෙම්කරන්නෝ
            මම අල්තායි වලට ළඟා වෙනකොට එහෙට වියලි කාලය උදා වෙලා.
ඇඟ මිදෙන තරං සීතලකින් හැම අතටම හුලන් හමනව.ඒත් කිසිම ගානක් නැතුව සයිබීරියන් අයිබෙක් මුවො තමන්ගෙ උදේ කෑමවේල භුක්ති විඳිනව.ගමනෙන් හොඳටම හෙම්බත් වෙලා හිටපු මම කොහෙට හරි වෙලා ගිමන් හරින්න තීරණය කළා.

මම මේ පලාතට ආවේ විශේෂ හේතුවකට. ඒ කඳුකර දඩයක්කරුවන් මුණගැහෙන්න. ඔවුන් තමන්ගෙ  සාමාන්‍ය ජිවිතයෙන් ඈත් වෙලා මීටර් හාරදාහක්විතර උසට පැතිරෙන කඳුවැටියක ,තැන් තැන් වල පැතලි වහල තියෙන කළුගල් ගෙවල් ගදාගෙන වලාකුළු වලට පෙම් කරමින් ජිවත් වෙනව.එක ඔවුන්ගේ සභ්‍යත්වය වෙන්න ඇති.නමුත් ඒ ජිවිත , ජිවන  බර ඕනෙවට වඩා ගන්න අපිට වඩා දියුණුයි , පැහැදිලියි කියල මට හිතෙනව.
කඳුකර දඩයක්කරුවන් තරමක් මිටි කොකේසියානු  මිනිසුන් කොටසක්.ඉහල උන්නතාංශ වල ජිවත් වෙන මිනිසුන්ට පොදු , උදරයට සාපේක්ෂව විශාල වුනු පපු පෙදෙසක් මේ මිනිසුන්ගේත් දකින්න පුළුවන්.


අල්තායි කඳු වැටිය (ජෛවවිවධත්වය)
අල්තායි නැගනහිර හා මධ්‍යම ආසියාව හරහා විහිදුනු කඳුවැටියක්.මේ කඳුවැටිය තමන්ගේ වයඹ දිග මායිමේදී සායාන් කඳුවැටිය මුණගැහෙනව.මීටර් 2000ත් 2400ත් අතර උසකින් ආරම්භ වෙන බොහොම සුන්දර හිම පටියක් , රළු වලගොඩැලි  පිරුණු අල්තායි මුදුන් හරහා ගමන් කරනව.
අල්තායි කලාපය නානාප්‍රකාර සත්ව විශේෂ වලට අපුරු නිවහනක් වෙලා.මේකට ප්‍රධානම හේතුව විදිහට දකින්න පුළුවන් වෙන්නෙ , මේ කලාපය හරහා පැතිරුණු විවිධ, වෙනස් වන සුළු දේශගුණය.
මේ කඳුවැටියේ දල ප්‍රපාතාකාර බෑවුම් සයිබීරියානු අයිබෙක්ස් සතුන්ගේ නිත්‍ය වසභුමියක්.ඒ වගේම විරල සත්ව විශේෂ විදිහට හඳුන්වන්න පුළුවන් ආරගාලි (ආසියානු වාසි වල බැටළුවෙක්) ,වපිටි (මුවන් විශේෂයක්) , මූස්(උතුරු ඇමරිකානු ගෝනෙක්) , සයිබීරියානු කස්තුරි මුවන් වගේ සත්තු , මේ දල ප්‍රපාතාකාර බෑවුම් තුල ජිවිතේ ගෙනියනව.විශාල ප්‍රමාණයේ විලෝපිකයින් විදිහට හිම දිවියන් (කොටියන්?) මේ පරිසරයේ සමතුලිත බව රකින්න කැපවෙලා සිටිනව.
සයන්ටිස්ට් සඟරාව කියන විදියට , අල්තායි හි  ක්ෂීරපායින් ගේ වෙනස්කම් අයිස් යුගයේ සිටම ඇතිවූවක්.මේ ලක්ෂණය ලෝකයේ අනිත් කොහෙටවත් වඩා අල්තායි වල දකින්න පුළුවන් බවක්  තමයි ඔවුන් අඟවන්නෙ..2010 අවුරුද්දේ දෙනිසොවා කියන ගුහාව ඇතුලෙ කරපු කැනීම් වලින් ලැබුණු අවුරුදු 50000 ක් පැරණි මානව ෆොසිල, මේ පළාත ලෝකයේ පැරණිම නව මානව අවශේෂ ලැබුණු තැනක් ලෙස ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වුණා. ජාන කේත සැසඳීම මගින් මේ මිනිස්සු සම්පුර්ණයෙන්ම නොවුනත් යම් ප්‍රමාණයකින් උතුරු ඇමරිකාව දෙසට සංක්‍රමණය වුන බව පසු කාලෙකදී සොයාගැනුන.මේ මොන දේ කොහොම වුනත් , මේ මිනිසුන් මේ කටුක පරිසරය ඇතුලේ ජිවත් වුනු විදිය තවමත් ප්‍රෙහෙලිකාවක්.

පාවෙන ජිවිත
  මේ පළාතෙ ජිවත් වෙන මිනිසුන්ගෙ ප්‍රධානම ජිවනෝපාය තමයි  සතුන් ඇති කිරීම නැතිනම් සතුන් දඩයම.සියගානක් එළුවන් නැත්නම් බැටළු පට්ටියක් අරන් උදේ පහළියෙන්ම ගෙදර ගෘහ මුලිකය අල්තායි වෙත පිවිසෙනව.මේ වැඩේට උදව් වෙන්නෙ ඔහුගෙ කිකරුම කකුල් හතරේ සඟය.
තමන්ගෙ බැටළු නැත්නම් එළු පට්ටිය අරගෙන පිවෙසෙන ගොපල්ල හරියට හීන ලෝකෙකට පිවිසුනා වගේ හැලහොල්මනක් නැතිව ගල් තලාවක් උඩ වැතිරිලා  මොකක්දෝ නොදන්න බාසාවකින් ගීතයක් මුමුණනව. ඔහු ලඟින්ම වැතිරිලා ගිමන් හරින ඔහුගෙ කකුල් හතරේ කීකරු සඟය කන් දෙක උල් කරගෙන ඒ දිහා බලන් ඉන්නව. හැමදාම ගෙවෙන මේ ජිවිත ඇතුලේ අවුරුදු ගානක් තිස්සේ ඔවුන් පාවෙනව. කාත් කවුරුවත් නැති සුන්දර අහස දිහා බලාගෙන ඔවුන් අවුරුදු ගණනක් ජිවත් වෙනව.

යෙලික්බයෙව්(Yelikbayev) හමුවීම
ඉතින් මම හිතුව පාවෙන ජිවිතයක් විඳින ඒ වගේ මිනිසෙක් ව හම්බවෙන්න.
යෙලික්බයෙව් , ඔහු විනෝදකාමී දඩයක්කාරයෙක්. මට තවමත් තෙරුම් ගන්න අපහසු වුනත් ඔහුගේ ජිවන වෘත්තීයත් ඒකම තමයි. සාමාන්‍යයෙන් යෙලික්බයෙව් ගෙ දඩයම් කුලකය පුංචි කුරුල්ලන්ගේ ඉඳන් මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුණු වල් නරියෙක් දක්වා පැතිරී තියනව.ඔහුගේ මේ දඩයම් කුලකයට කාලාතුරකින් හොඳින් වැඩුණු මස්ක් වර්ගයේ මුවන් පවා අයත් වෙනව. යෙලික්බයෙව් ගෙ දඩයම් සහායකයා විදිහට සිටින්නේ  ෆැල්කන් වර්ගයේ විශාල උකුස්සෙක්!. අපිට මේක අලුත් අත්දැකීමක්  වුනත් , මේක  මේ පළාතට  සාමාන්‍යය දෙයක්.
අල්තායි නොමැඩ්වරුන් අති දක්ෂ  උකුස්සන් හිලෑ කරන්නන් පිරිසක්. අවුරුදු දහස් ගණනක් පාරම්පරිකව පැවත ආ දැනුමක් තුලින් , තවමත් ඔවුන් ඔවුන්ගේ අපුරු ජිවිතයට පනදෙනව.ඔවුන්ගේ මුතුන්මිත්තන් පනපොවපු උකුසු භාෂාව , උකුස්සන් රැකබලාගැනීමේ ක්‍රමවේද , උකුස්සන් අභිජනනය කිරීම ; මේ හැම දැනුමක්ම ඔවුන් තවමත් අනාගත පරම්පරා වලට යාවත්කාලින කරනව. ඔවුන්ගේ දරු මුණුබුරන් සාමාන්‍ය සාම්ප්‍රදායික ධනවාදී ආර්ථිකයට හිනා වෙමින් ඒ අපුරු දැනුම රැකගන්න පෙළගැසෙනව.


   ෆැල්කන් උකුස්සන් පුහුණු කීරීම
උකුස්සන් පුරුදු කිරීම කුරුළුගොයින් පුරුදු කිරීමේ තවත් වැඩිදියුණු වුනු අවස්තාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නෙ.මේ විශේෂාංගය මුලින්ම ලොවට හඳුන්වා දීම කරල තියෙන්නෙ , යුරේසියානු ස්ටෙප්ස් තෘණභුමි වල ජිවත් වුණු ,යුදෙව් තුර්කිවරුන්.එහෙම වුනත් තුර්කි වරුන් වඩාත්ම සමත්කම් දක්වල තියෙන්නෙ පෙරී කුරුළුගොයින් පුරුදු කිරීම පිළිබඳව.  

ෆැල්කන් වර්ගයේ උකුස්සන් සාමන්‍යය ප්‍රමාණයේ උකුස්සෙක් වගේ දෙගුණයක පමණ පිහාටු පළලක්(wingspan)(105-129cm) තිබෙන කුරුළු  විශේෂයක්. මේ කුරුල්ලන් අතරිනුත් විශාලම  වර්ගය ජිවත් වෙන්නෙ ඊසාන දිග අල්තායි කඳු මුදුන් වල. මොවුන්ගේ සමේ පැහැයත් පුල්ලිමය ස්වභාවයත් අනිත් උකුස්සන්ට වඩා වැඩි තීවෘරතාවකින් විහිදී පවතිනව. මොවුන්ගේ ඇතිවීම ගැන මුලින් කරපු පර්යේෂණ වලින් සොයාගැනුනේ ෆැල්කන් උකුස්සන් සාකර්(saker) උකුස්සන් සහ විශාල උකුස්සන් (gyrfalcon) අතර   දෙමුහුන් විශේෂයක් බව.නමුත් පසු කලකදී ඔවුන් වෙනත් විශේෂයක සාකර්(saker) උකුස්සන් විශේෂයක් බව සොයාගැනුන.

ෆැල්කන් උකුස්සන් සාමාන්‍ය කුරුළුගොයින්ට වඩා , නොනැවතී තිරස්ව තමන්ගේ ගොදුර ලුහුබැඳ යාමට දක්ෂයින් කොටසක්.බොහෝවිට ඔවුන්ගේ ගොදුරු බවට පත්වන්නෙ කුරුල්ලන් සහ මුසික(rodents) වර්ගයේ සතුන්....   
                    [මතු සම්බන්දයි..... තව දවස් පහකින් විතර ]

    


















18 comments:

  1. සුපිරි පින්තුරු...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දේශක ,, නියම පින්තුර ටික

      Delete
  2. ඒ ප්‍රදේශයට යන්න තරම් ආසා හිතෙන විස්තරයක්. බොහෝදෙනෙක් වැරදියට ලියන, උච්ඡාරණය කරන නමක් ඔබ නිවැරදිව ලියා තිබෙනවා. ඒ තමයි කසාක්ස්ථානය.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය වචනෙ හරියට ලියන්න ඉගෙන ගත්තෙ ඔබෙන්ද මන්ද විචාරක ,, මම එදා ඉඳන් හරියට පාවිච්චි කරනව ...ඔබට ස්තුතියි !!!

      Delete
  3. නියම විස්තරය රස්ති. වචන හසුරවන විදිහ පොඩිකාලෙ කියෙවුව රුසියන් පොත් මතක් වෙනව

    ReplyDelete
    Replies
    1. එළකිරි වේවා කම්මල !!!!
      රුසියන් සාහිත්‍ය පොත් මමත් බොහොම අසාවෙන් කියවනව,,, ලඟකදී කියෙව්වා "ගුරු ගීතය" ,, මාරම පොතක් !!!

      Delete
  4. අල්තායි නොමැඩ්වරුන් තමංගෙ දැනුම අලුත් පරම්පරාවට රැගෙන එන එකත් ඒ පරම්පරාව ඒවා ඉදිරියට පවත්වාගෙන යන එකත් අගය කළයුතුයි.

    නියම විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඉතින් කාලෙකට පස්සෙ Praසන්ன ...
      /*අල්තායි නොමැඩ්වරුන් තමංගෙ දැනුම අලුත් පරම්පරාවට රැගෙන එන එකත් ඒ පරම්පරාව ඒවා ඉදිරියට පවත්වාගෙන යන එකත් අගය කළයුතුයි.
      */
      ඔව් අනිවාර්යෙන්ම ,,, ඒ සංස්කෘතිය අපුරු එකක් ,, මමත් විස්තර හෙව්වහමයි දැනගත්තෙ ...

      ස්තුතියි Praසන්ன!!!

      Delete
    2. //මම අල්තායි වලට ළඟා වෙනකොට එහෙට වියලි කාලය උදා වෙලා.//

      හෙහ් හෙහ් අන්න එහෙම ලියනවටයි මම කැමති

      මමත් කාලෙකින් බං බ්ලොග් වලට ගොඩ උනේ

      Delete
    3. උඹ කොහෙද යකෝ මකබෑවිලා හිටියෙ.

      Delete
    4. දෑත් සක්තිමත් කොරන්න ගිහිං හිටිය බං.

      Delete
    5. //මමත් කාලෙකින් බං බ්ලොග් වලට ගොඩ උනේ//
      එහෙම තමා බං මේ කෙහෙල්මල් ජිවිතේ ... :)

      Delete
  5. //මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන් උපරිම කටුක විදිහට ; ඒත් උපරිම සුන්දර විදිහට.//
    එකට තම කියන්නේ ජිවිතේ විදිනව කියලා.
    යන්ට ඔනි මාත්...ගිහින් ඉගෙනගන්නවා උකුස්සෝ එක්ක දඩයමේ යන්න..

    ReplyDelete
    Replies
    1. //යන්ට ඔනි මාත්...ගිහින් ඉගෙනගන්නවා උකුස්සෝ එක්ක දඩයමේ යන්න..//
      කල්හාන් වර්චුවල් විදිහටද නැත්නං ඇත්තටද???

      Delete
  6. තන්තා්සයි ආයෙත් ආවට!

    ReplyDelete
  7. රයිටෝ දැන් ආයේමත් යන් සිතල කඳු අස්සෙන්.පාළු මිටියාවත් අතරින් ලෝකේ වටේට.

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ මනෝජ් :) වර්චුවල් යථාර්තෙට අයෙමත් සාදරයෙන් පිළිගන්නව එහෙනං ...!

      Delete

කරුණාකර ගැටළුවක් මතුවුවහොත් මේ සමග ඇති මුලාශ්‍ර භාවිතා කරන්න...