Thursday, August 4, 2016

රස්තියාදුකාර පුරවැසියා - ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors )


රස්තියාදුකාර පුරවැසියා 6 -  ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors )

බොග් දෙකක් නඩත්තු කරන එක අමාරු නිසාත් අටං කියපු හින්දත් මේකෙම ලියනව ඕං෴

පාට... , ඔව් පාට කියන්නෙ මාරම දෙයක්. මිනිස්සු පාට නිසා අමුතුම සංකල්ප බිහිකරගෙන. අරය සුදුයි , මෙයා කලුයි , අරය ලස්සනයි , අර ගහ කොළ පාටයි , අරය ඇෆ්රිකන් , මෙයා ඇමරිකන් , ලේ රතුපාටයි , අපි සිංහලේ , අරය මුස්ලිම් .... ඔය විදිහට

අද තියෙන්නෙ මම ඊයේ දැක්ක ගහම නොවුනත් ගහ කොළපාට වුන එකත් මාරම දෙයක්. ගහෙන් කොළපාට ඇර ඉතිරි සේරම පාට උරාගෙන. අපේ ඇහැටත් පරාවර්තනය වෙලා. පුංචි කාලෙ අපි නොදන්න කමට අපි අම්මගෙන් අහල "අර මොකක්ද අම්මෙ?" කියල. අම්ම කියල "ඒ පුතේ කොළ පාට , ආ ඒ පේන දේට කියන්නෙ ගහක්" කියල.

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක අපේ පෘථිවිය වගේ සමාන්තර ලෝකයක් තිබුනලු. ඒ ලෝකෙ මිනිස්සුන්ට තිබුනෙ එක්ස් කිරණ (X-ray) වලට සංවේදී ඇස් ලු. ඒ කියන්නෙ එයාලට අරගන්න පුළුවන් පරාවර්තනය වුණු X වර්ගයේ තරංග ලු. ඔන්න ඒ ලෝකෙත් හිටියලු අපේ කලින් කතා කරපු ලඟකදී ඉපදුනු  බබාම ඒ වෙලාවේම ඒ පේන පරිසරයේම. එයාත් අපේ පෘථිවි බබා වගේම දෙයක් දැක්කලු. එයා එයාගෙ අම්මගෙන් ඇහුවලු අම්මෙ අර මොකක්ද කියල. දෙන්නම දකින්නෙ මොකක් හරි එකදෙයක් නෙ. ඉතින් අම්ම දුන්න උත්තරේ මොකක්ද?   අපිට පෙනුණු ගහ එයාටත් පෙනෙයිද? ඒ පේන එක ගහක් ද?  එහෙනං ඒ මොකක්ද? ඒකෙ පාට කොළ පාටද? ඒක පාටක් ගනීද? එතන මොකුත් ඇතිද? අපි ගන්න දැනුම අපි දකින දේට සාපේක්ෂ ද? එහෙනං අපි දැකපු එක බොරුවක් ද? අම්ම අපිට බොරු කරාද? එතකොට ඇත්තටම ගහ මොන වගේද? එතකොට අපි දකින්නෙ ඒ ඇත්තටම අම්මවද? සමාන්තර ලෝකෙ බබාගේ අම්ම කොහොම ඇතිද? එයාගේ හමේ පාට මොකක් වෙන්න ඇතිද? අම්ම ලස්සන ඇතිද? අම්ම ඇමරිකන්ද? අම්මගෙ ඇඳුම් කොයි වගේ ඇතිද? 
ටිකක් හිතල බලන්නකෝ.....

ඇල්ගොරිතම කියන්නෙ පරිගණක විද්‍යයාවේ ගොඩාක් පාවිච්චි වෙන වචනයක්. සරලව කිව්වොත් ඒක නිකං දෙයක් කරන නිශ්චිත ක්‍රමයක් වගේ. හරියට බබෙක්ට බත් පිඟානක් බෙදල දීල , පිඟානෙ දකුණු පැත්තෙන් පටන් අරං කාගෙන යන්න කියනව වගේ. මේවා නිකං හරි යාන්ත්‍රිකයි. ඒ කියන්නෙ අපි වගේ නෙවේ. අපි මිනිස්සු විදිහට කැමතියි වෙනසක් දකින්න. ඒත් කොම්පියුටර් වෙනස දකින්නේවත් වෙනසක් දකින්න ආස කරන්නෙවත් නෑ. මිනිස්සු මේ කාලෙ වෙද්දී වෙහෙසෙනව ඔය කියන ආසාව කැමැත්ත ඇති කරවන්න. ඕක තමා ඔය කෘතීම බුද්ධිය කියල කියන්නෙ.

අද කාලෙ ගෑණු ළමයෙක් ගත්තොත් මාරම වෙනස්. අපේ ආච්චිල ෆේස්බුක් පාවිච්චි කළා යෑ. ඉතින් එහෙම බලද්දී අද කාලෙ ගෑණු ළමයි හරි දියුණුයි. ඔන්න ඉතින් ගෑණු ළමයෙක් ට අද කාලෙ ලස්සන වෙද්දී නැතුවම බැරි දෙයක් තමයි ඇල්ගොරිතම කියන්නෙ. කොටින්ම කිව්වොත් ඕක ෆෙයාර් ඇන්ඩ් ලවුලි පොන්ඩ්ස් වයිට් බියුටි ක්ලෝගාඩ් සිග්නල් වලට වඩා දාස් ගුණයක් ප්‍රයෝජනවත්.  ඔය ඇල්ගොරිතමය අපි සරලව හඳුන්වනව ඩයිනමික් ස්කින් සොෆ්ට්නර් කාණ්ඩයේ බියුටි කචල් ඇල්ගොරිතම විදිහට. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නෑ.සල්ලිත් ඉතුරුයි.

 ඕව ඉතින් අද කාලෙ ඕනේ ජංගම දුරකථනෙක තියෙනව. අර බියුටි ෆේස් කියන්නෙ. ඔන්න ඉතින් ඕවට පින්සිද්ද වෙන්න අපේ කොල්ලොත් රැවටෙනව. ඇයි පාරේදී දකිද්දී එකක් ෆොටෝ එකේ දකිද්දී තව එකක්. හැබැයි ඒකෙ වරද්දකුත් නෑ. මොකද ලස්සන වීම ගෑණු ළමයෙක් ගේ අයිතියක්. අපේ රටේ ගෑණු ළමයි බහුතරයක් ගේ හම දුඹුරු පාටයි. හරි අපි කියන්නෙ කළු කෙල්ලෙක් කියල උනාට ඇත්තටම අපිට තියෙන්නෙ දුඹුරු වර්ණයේ විවිද මිශ්‍රණ. අපි සුදු කෙල්ලෙක් කිව්වට ඇත්තටම උතුරු අර්ධගෝලයේ ගෑල්ලමයි ට සාපේක්ෂව අපේ ගෑල්ලමයි දුඹුරුයි. පිරිමි ගැන උනත් ඔච්චර තමා. එතකොට ඇයි උතුරු අර්ධගෝලයේ ගෑල්ලමයි හම ටෑන් කරගන්න(දුඹුරු - ඔලිව් පාට වගේ) කරගන්න දඟලන්නෙත් අපේ ගෑල්ලමයි හම සුදු පාට ට ලංවෙන්න වත් කරගන්න බලන්නෙ? අපි වෙනසක් දකින්න කැමති නිසාද? 
අපේ අම්ම අපිට ඉගැන්නුව මේ පාට කළුයි/දුඹුරුයි කියල. ඉතින් ඒත්  වෙලා තියෙන්නෙ  වැටුණු ආලෝකය සෑහෙන දුරට උරාගෙන පරාවර්තනයක් නැති තරම් වෙලා. අන්න එතකොට ඒ අපේ ඇහෙන් ගත්තු සිග්නල් එකට අපි නමක් දීල මේක කළුයි/දුඹුරුයි කියල. එතකොට X-ray ලෝකෙ, එහෙ ගෑල්ලමයි කොහොම ඇතිද?  අපේ ලෝකෙ කොල්ලෙක් එයාව කොහොම දකීද? ආදරයක් ඇතිවෙයිද? ආදරේට පාට ඕනෙමද? ලස්සනේ උපරිමය මොකක්ද ? අවමය මොකක්ද?  ලස්සන දකින දේට සාපේක්ෂව හදාගත්තු දෙයක් ද? ඇත්තටම ගෑණු ළමයෙක් ඇතිද? 
මං කියන්නෙ හදිස්සියේ වත් ගැමා කිරණ වලට සංවේදී ඇස් තියෙන ලෝකයක් තිබ්බොත්?


 (ගැමා කිරණ මීටරයක් [මට මතක හැටියට] පමණ කොන්ක්‍රීට් කුට්ටියක් ඇතුලෙනුත් ගැටළුවක් නැතුවම විනිවිද යනව. පරාවර්තනයක් නැති තරම් ) 


Thursday, June 30, 2016

රස්තියාදුකාර පුරවැසියා 1.0

මං ඇඟේ අමාරුව නැතිකරගන්න තව බොග් එකක් පටන් ගත්ත. කැමති අය ඇවිත් බලන්ටෝ..... පහලින් කිලික් කරන්න....



රස්තියාදුකාර පුරවැසියා 1.0

Tuesday, June 28, 2016

පුංචි දඩයක්කාරිය ඇශෝල්පන්

තෙරක් නොපෙනන තුන්ද්‍රාව

සීතලෙන් රතුපාට වුනු කම්මුල් , නරි සමෙන් මසපු තොප්පිය, දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක්. ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය.
 යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය, ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක්. තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද්‍රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය, හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන.
අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක්. නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින්.

"මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න, මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල. මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි. "
පුංචි ඇශෝල්පන්

පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද්‍රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක්. උදෑසන  තුන්ද්‍රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සිටින ඇශෝල්පන් ඇයගේ මව විසින් අවදි කරවනව. සම වයසේ සිටින  ඕනෑම දරුවෙක් මෙන් කම්මැලි ඈ ගේ සුදානම තවත්  පොරෝනය තුලට වී නිදිලොවට දිවයාමට. නමුත් ඇගේ මවගෙන් නම් බුරුලක් නැතිපාටයි.
කුඩාරම මධ්‍යයේ තිබෙන බොයිලේරුව ලඟට යන ඇශෝල්පන් ගිනි තපිමින් ඉන්න ඇගේ පියාට  හවුල් වෙනව. ළඟදීම පැමිණෙන ශීත කාලය වෙනුවෙන් අහාර රැස්කිරීම ගැන දෙදෙනා අතර නොදැනුවත්වම  දිගු කතාවක් ඇතිවෙනව.

ඇගේ පියාගේ බලාපොරොත්තුව තුන්ද්‍රවේ නැගෙනහිර දෙසට දින කිහිපයක් දඩයමේ යාමට. ඇශෝල්පන් ගේ දෑස දීප්තිමත්. ඇය දිගු කාලයක් තිස්සේ හීන මැව්ව දිගු දඩයම් චාරිකාවට දින එළැඹිලා!.
ඇශෝල්පන් තම පියා සමගින් දිගු දඩයම් චාරිකාවට සුදානම් වෙනව, ඔවුන් දින පහක් තුන්ද්‍රාව ඔස්සේ දඩයමේ යාමට නියමිතයි.

ඇශෝල්පන් ගේ පියා තමන් සතු දක්ෂම උකුස්සාව මේද අඩංගු අහාර වලින් සංතෘප්ත කරවනව.  වෙනදාට බරප්පතලක් නොමැතිව කෑම කන  උකුස්සාට දැන් පැවරී තිබෙන වගකීම  වැටහිලා වගෙයි!  ...

අංශක බින්දුව  ආසන්නයේ පවතින උෂ්ණත්වයක් යටතේ දඩයම් කිරීම ඉතා අපහසු කාර්යයක්. ශරීරයේ ශක්තිය, අභ්‍යන්තරය උණුසුම්ව තබාගැනීමට වැයවන හේතුව නිසාවෙන් දඩයක්කරුවන් ඉක්මනින්ම වෙහෙසට පත්වෙනව, මේ නිසාම ඇශෝල්පන් ගේ මව, ඇශෝල්පන්  දඩයමේ රැගෙන යාම ගැන සිටින්නේ තරමක  බියකින්. නමුත් ඇගේ එකම සැනසීම වන ඇශෝල්පන් ගේ පියා නිසාවෙන් ඇගේ බිය, නිසල තුන්ද්‍රාවේ ඈතට පාවී යනව.

කාන්තාරයේ වැලිකුණාටු ඇතිවනවාක් මෙන්ම මේ පළාතේ හිම කුණාටු ඇති වීම අරුමයක් නොවන නිසා  ඇශෝල්පන්ගේ පියා ඈත නැගෙනහිර කාලගුණය ගැන මනාව විමසිල්ලෙන් සිටිනව,
දින පහකට ප්‍රමාණවත් ආහාර , නරි හමෙන් නිමකරපු කබා , උකුස්සාට කැවීමට මේද කුට්ටියක් , අහාර පිසින භාජන , දර කැබලි මේ හැමදේම වෙනම අශ්වයෙකුගේ පිටේ එල්වනව. ඔවුන් රාත්‍රිය ගත කරන ගල්ගුහා අසල දිය උල්පත් තිබෙන නිසා විශාල බරකින් අමතර අශ්වයා නිදහස්.

මේ දිනවල ඇශෝල්පන් සිටින්නේ අමුතුම සතුටකින්, ඇගේ නොයිවසිල්ල ඇගේ ආත්අම්මාටත් දකින්න ලැබී ඇති හැඩයි.

" ඇශෝල්පන් ගේ තාත්තත් ඔය වගේම තමයි පුංචි සන්නියේදී. දිග දඩයම් දවස් කියන්නෙ එයාට ඇඟිලි ගනිමින් බලං ඉන්න කාරණයක්. ඒ කාලේ අපිත් ඇශෝල්පන් ගේ අම්ම වගේ , හිතේ ගින්දරක් තියන් ජිවත් උනේ දඩයමේ ගිය කාලෙට. දැන් අපි නාකි උනාට ඒ දවස් වල හොඳට දුවල පැනල එයාලට පහසුවෙන් දඩයමේ යන්න ඕනේ කලමනා ටික හදල දුන්න, මට ආඩම්බරයි මගෙ මිනිබිරී ගැන, මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි කියන්නෙ පොඩි දෙයක් නෙවේනෙ. අනික දැන් ඉන්න කොල්ලොත් එක්ක බැලුවහම ඒකි කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද.මට ආස කවද හරි මං ජිවත් වෙලා හිටියොත් , මගෙ කෙල්ල , එයැයිගෙ තාත්ත වගේ දිග දඩයම් චාරිකාවක් යනවා දකින්න. "

කෙමෙන් කෙමෙන් චාරිකාවට දින ලං වෙනව. ඇශෝල්පන් ගේ මව දඩයක්කරුවන් දෙදෙනා නොපෙනී යන තුරු හිතේ සාංකාවකින් බලාන ඉන්නව.


පළමුවන දඩයම් දිනය

ඇශෝල්පන් හා ඇගේ පියාගේ පළමු ගමනාන්තය අල්තායි කඳුවැටියෙන් නැගෙනහිරට වෙන්නට කන්ද තුල පිහිටා තිබෙන ගුහාවක් වෙතට. විශාල ප්‍රමාණයේ කඳුකර මුගටින්ට(Mountain Weasel) ප්‍රසිද්ධ මේ ප්‍රදේශය තුලින් සැලකිය යුතු දඩයම් ප්‍රමාණයක් කරගැනීම තමයි ඔවුන්ගේ අරමුණ.
කඳුකර මුගටියෙක්


නැගෙනහිරට කිලෝමීටර් 50ක පමණ  දිගු ගමනකින් පසුව, ගුහාවට පැමිණෙන ඇශෝල්පනුත් ඇගේ පියාත් කෙටි විවේකයක් ගැනීමට සැරසෙනව. ඇශෝල්පන් ට ඇගේ පියාගෙන් උත්තර සොයා දැනගත යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙනව වගෙයි.

" තාත්තේ අර ගුහාවේ ඇඳලා තියෙන්නෙ මොනවද?" කුතුහලයකින් යුතුව ඇශෝල්පන් විමසන්නට වුණා.
"ඒ  දුව  අපේ මුතුන්මිත්තන්ගේ කළා නිර්මාණ. එයාල මේ පළාතේ දඩයමේ ඇවිත් වෙහෙස නිවාගන්න ඇඳපුව.
"

ගුහා චිත්‍ර

ආදී කසාක්ස්ථාන ජනයා දඩයම මගින් තම බඩගිනි නිවාගත්  සංචාරක ජීවන රටාවකට හුරුවුණු ජනතාවක්. පසුකලකදී කුඩාරම් ගසා අශ්වයින් බැටළුවන් වැනි සතුන් ඇති කිරීමට වගේම අර්ධ සංචාරක දිවිපෙවෙතකට හුරුවුණු ඇශෝල්පන් ගේ පියාගේ පරම්පරාව, කසාක් වරුන්ගේ ජීවන විවිධත්වය පෙන්නුම් කරන අපූරු උදාහරණයක්.

"අපි දඩයම් ජිවිතයට කැමැතියි. ඒක අපේ මුතුන්මිත්තෝ අපිට දුන් දේවල්. මේ එයාලගේ දැනුම. ඔවුන් කරුණාවන්ත නිසා තමයි අද අපි අපේ බඩගින්න් නිවගන්නෙත්.  ඔවුන් අපිට කියල දුන්න උකුස්සොත් එක්ක කතා කරන විදිය. උන්ව පුරුදු කරන විදිය,අපි ඔවුන්ට ණයගැතියි ඒ දැනුම ලබාදුන්නට......''



-මතු සම්බන්ධයි

Thursday, June 23, 2016

අල්තායි සහ කුරුමිට්ටෝ (1 කොටස)

ල්තායි කඳුවැටිය ආසියාවේ හදවත වගේ. ඇය සුන්දර ස්ටෙප්ස් තෘණ භුමි කාන්තාර ටයිගා වනාන්තර මේ හැමදෙයක් ම දරාගෙන බොහොම ප්‍රතාපවත් විදිහට නැගීසිටිනව. පැරණි තුර්කි වගේම මොන්ගෝලියන් මිනිසුන් ඇයට වශී වෙලා වෙන්න ඇති ස්වර්ණමය කඳුවැටිය විදිහට නම් කරන්නත් ඇත්තෙ.

 අදටත් අල්තායි සැලකෙන්නේ ලෝකයේ නොකිලිටි ස්වභාවික පරිසර පද්ධතියක් විදිහට. එහෙම උනත් අද මිනිසුන් පරිසරයට කරන විනාශය දැක්කම, රස්තියාදුකාරයාට වෙලාවකට පුදුමයකුත් ඇතිවෙනව. සමහරක් විට ඒකට හේතුව අඩු ජනගහණ ඝනත්වය වෙන්නත් ඇති. ඒ කොහොම වුනත් ඇගේ නොවෙනස්වන සුළු ස්වභාවය ඇත්තටම පුදුම සහගතයි!.

රස්තියාදුකාරයා මේ පළාත ගැන සොයාගත් විස්තර වල හැටියට, මේ පළාත සංස්කෘතිමය වශයෙන් බොහොම ඉපැරණි යුගයක් දක්වා විහිදී යන බව දැනගන්න  ලැබුණ.ඒ අතර වැඩියෙන්ම වැදගත් වුනේ අල්තායි පලාතට මීට වසර මිලියනයකට පමණ පෙර මිනිසුන් පැමිණ ජනාවාස කර තිබීම. අපූරු පරිසරයක් වුවත් ඔවුන්  ජිවත් ජිවත් වීමට විශාල සටනක් ගෙනියන්න ඇති. රස්තියාදුකාරයා දැකපු විදිහට මේ අවුරුදු මිලියනයක කාලසීමාව තුල මේ හේතුව නිසාම ඔවුන් තුල විශාල විපර්‍යාස  ඇතිවෙන්න පටන් අරන්.  උදාහරණ විදිහට දීර්ඝකාලින ජානමය විපර්යාස වගේම පෙනහළු ආශ්‍රිත වෙනස්කම් හඳුන්වා දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මිනිසුන්ට අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ ජීවත් වීම ඉතා අපහසු කාර්යයක්. ඒත් මේ අපූරු කඳුකර මිනිසුන් අඩු හිමොග්ලොබින් (රුධිරයේ ඔක්සිජන් පරිවහනය වීම වෙනුවෙන් පෙනී සිටින රසායනික සංකීර්ණයක්)   මට්ටම්  යටතේ ජීවත් වීමට අනුවර්තනය වෙලා තිබෙනව. ඒ වගේම පෙනහළු වල සිදුවුණු පරිමාවේ වැඩිවීම් නිසා ඔවුන්ට පහසුවෙන් ගැටළුවකින් තොරව ආශ්වාස කිරීමට හැකියාව ලබා දී තිබෙනව.

අල්තායි සහ ඇගේ දරුවන්

රස්තියාදුකාරයා කසාක්ස්ථාන අල්තායි සංචාරයේදී  ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වුනේ අල්තායි කඳුවැටියේ දරුවන් හමුවීම. ඔවුන් අපූරු මිනිසුන් කොට්ටාශයක්. නරි හමෙන් නිමකරපු ඇඳුම් ඇඳගත් ඔවුන්ගේ උරහිසේ වසා සිටින්නේ විශාල ප්‍රමාණයේ උකුස්සෙක්. මේ තමයි  අවුරුදු දහස් ගණනක් තිස්සේ හවුලේ බඩගිනි නිවාගත් අල්තායි දඩයක්කරුවන්ගේ දඩයම් සහකරු.

උකුස්සන් ගැන මීට පෙර පළ වූ සටහන


රස්තියාදුකාර දේශාටනය - අල්තායි කඳු හරහා 
අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපග...
 
දැනට මේ උකුසු දඩයක්කරුවන් මුළු ලෝකයටම ඉතුරු  වී සිටින්නෙ හැත්තෑවක් පමණ ප්‍රමානයක්. එයිනුත් මොවුන් කසාක්ස්ථාන සහ කිර්ගිස්ථාන කාලාපයට පමණක් සීමා වී තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යනව.
මේ චාරිකාවෙදි රස්තියාදුකාරයාගේ මූලික අරමුණ වුනේ උකුසු දඩයක්කරුවන් අතර පුරාවෘත්තයක් ලෙසින් හැඳින්වෙන දඩයක්කරුවෙක් සහ එකම දඩයක්කාර කාන්තාව වන ඔහුගේ දුවණිය ඇශෝල්පන් හමුවීම.
ඔහු හැඩිදැඩි පුද්ගලයෙක්.අශ්වයාගේ රේන්ස් පටිය තනි අතින් අල්ලාගෙන අනෙක් අතේ උකුස්සාව තබාගෙන පිම්මේ තමන්ගේ අශ්වයාව දැක්කීමට ඔහු අති දක්ෂයෙක්. සීත කාලයට ඇඳුම් නිර්මාණයට අලුත් නරියෙක් නැතිනම් වැලි මීයෙක් දඩයම් කිරීමට ඇශෝල්පන් ගේ පියා උදේම පිටත් වී යනවා. ඔහුගේ අරමුණ ඉක්මන් දඩයමක්. නමුත් තෙරක් නොපෙනෙන තුන්ද්‍රවේ දඩයමක් සෙවීම පහසු දෙයක් නෙවෙයි.එමනිසා ඇශෝල්පන් ගේ පියා දඩයමක ඉඟියක් ලබාගන්න පුංචි කඳුගැටයක් මුදුනට නගින්න තීරණය කරනව.
ඇශෝල්පන් ගේ පියා

ඔහුගේ උකුස්සා සුදානමින්. ඇශෝල්පන් ගේ පියා ගේ තියුණු දෑස් ඈත සැඟවෙමින් ගමන් කරන නරියෙකුගේ සේයාව දකිනව. ඇසිල්ලකින් ඔහු තම උකුස්සාව ඉහලට මුදාහරිනව. ඒ ඔහුට හා උකුස්සාටම අනන්‍ය වුනු විසිල් හඬක් සමගින්. ක්ෂණිකව ඉහල නැගි උකුස්සා තම දඩයම හඳුනාගෙන ඇසිල්ලකින් දඩයම මතට පතිත වෙනව. ඒ තම වක් වූ තියුණු නිය විහිදාගෙන.
විනාඩි කිහිපයක් පවතින සටනකින් පසුව උකුස්සා ජයලබනව.

උකුස්සා මොවුන්ට දරුවෙක් වගේ!

ඇශෝල්පන් ගේ පියා  තමන්ගෙ අපූරු සහයකයා වෙනුවෙන් දඩයමේ හොඳම කොටස විදිහට ඔවුන් සලකන සතාගේ පෙනහළු කොටස තමන් විසින්ම උකුස්සාට කැවීම සිදුකරනව. සාර්ථක දඩයමකින් පසුව ඔහු උකුස්සාත් අතේ තබාගෙන, අශ්වයාගේ පසෙකින් එල්ලාගත් දඩයමත් රැගෙන, තමන්ගේ නිවස වෙත පැමිණෙනව.

හම ගැලවූ නරියන් 

දඩයමේ හොඳම කොටස විදිහට ඔවුන් සලකන සතාගේ පෙනහළු කොටස...


අපූරු මිනිසා

එය සීතලෙන් පිරුණු දිනයක්. වෘත්තාකාර කූඩාරමක, උණුසුම් සුප් පානයක් සමඟ ඇශෝල්පන් ගේ පියාත් තවත් දඩයක්කරුවන් දෙදෙනෙක් රස්තියාදුකාරයා සමඟ පිළිසඳරට එක් වුණා.
ඔවුන්ගේ දැනට ජිවත් වෙන නියම දඩයක්කරුවන් හැත්තෑවක් පමණ සිටිනව. ඒ අතරින්  බොහෝ දෙනෙක් වයසක උදවිය. මේ අපූරු මිනිසුන් චිරාගත සම්ප්‍රදායක් ලෙස තමන්ගේ පුත්‍රයාට(කලාතුරකින් දුවණියට) තමන් ලබාගත් රහසිගත දැනුම ලබාදීම සිදුකරනව.
"
අපිට ඉන්න එකම සැනසීම අපේ දරුවන්. ඔවුන් අපේ දැනුම ඉදිරියට ගෙනියනව.ඒ හැම දෙකටම අපි ඔවුන්ව පුහුණු කරලා සුදානම් කරවනව. මේ සත්තු අපගේම දරුවන් වගේ. අපේ බිරින්දෑවරු දන්නව ඔවුන්ට වඩා අපි අපේ සත්තුන්ට ආදරේ වග..."

ඔවුන් ඔවුන්ගේ දරුවන්ට අවුරුදු දහයක් පමණ වූ විට, උකුස්සන් පුරුදු පුහුණු කරවීම සඳහා රැගෙන යනව.
"
අපි අපේ දරුවන්ට ඔවුන්ටම කියල උකුස්සෙක් ලබාදෙනව,ඔවුන් මේ වෙනුවෙන් ප්‍රපාතයක ඉදි කරලා තිබෙන උකුසු කූඩුවකින්උකුසු පැටවෙක් ලබාගත යුතුයි.මේක කරන්න අපි අපේ දරුවන් කඹයකින් ගැටගහල උකුසු කූඩුව වෙත ප්‍රවේසමෙන් පාත්කරනව.ඒක භයානකයි තමයි. ඒත් ඔවුන් ඔවුන්ගේ ජීවිකාව සලසාගත යුතුයි. අපි වගේ තුන්ද්‍රාවෙ නිදහසේ ඇවිදයාමට ඉගෙනගත යුතුයි..."

නමුත් එය ඔවුන්ගේ මතය වුවත් වර්තමානයේ දරුවන් ඔවුන්ගේ අපූරු ශාස්ත්‍රය ඉගෙනගැනීම ප්‍රතික්ෂේප කරන බවක් ඔවුන් බොහොම දුකකින් යුතුව පවසන්නට වුණා.
         
"
දැන් කාලයේ දරුවන්ට උවමනා කරල තියෙන්නෙ කලිසමක් ඇඳන් නගරයට යන්න. ඔවුන් සින්දු අහන්න, සල්ලි හොයන්න බොහොම ආසයි. මේ දඩයම ශීතල මැද්දේ හුදකලාවේ තමයි කරන්නෙ. අපේ දරුවන්ට ඕනේ අලුත් දේවල්. ඔවුන්ට මේවයේ අගයක් නැහැ. එයාල කැමති උලාන්බටෝර්(මොන්ගෝලියාවේ අගනුවර) නැත්නං කසාක්ස්ථානයට එහෙමත් නැත්නං රුසියාවට යන්න..."


-මතු සම්බන්ධයි



Wednesday, November 26, 2014

රස්තියාදුකාර දේශාටනය -- අල්තායි කඳු හරහා ...

රස්තියාදුකාර දේශාටනය  -- අල්තායි කඳු හරහා ...


---හැඳින්වීම
------ජන ජීවිතය
---------දඩයක්කරුවන් හමුවීම
------------රන් කඳුවැටියේ විල් මැද
--------------සායන් කඳු හරහා
------------------වල් නරි දඩයම 


පොඩ්ඩක් ප්‍රමාද වුනාද මන්ද  :) 


ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න. ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න.


අහස් ගව්ව ඇල්ලීම
අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ  උන්නතාංශය සලකුණු කරනව.
හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක්  හමාගෙන යනව.කුරු ගස් වැල් , වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව. ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක්  මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව.එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව.

මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන් උපරිම  කටුක විදිහට ; ඒත් උපරිම සුන්දර විදිහට.
අල්තායි වලට ජිවිතේ විඳින්න යන කෙනෙක් මුලින්ම තමන්ට හිතාගන්න බැරි තරං හුදෙකලාවකට අහුවෙනව.ඒත් දවස් කීපයක් ගතවෙනකොට ඒ සංචාරකය ඒ ජීවිතේට හිතාගන්න බැරි තරං ආදරේ කරන්න ගන්නව. ඔහුට/ඇයට ජිවිතේ දැනෙන්න ගන්නව.

අල්තායි වල තියෙන්නෙ සිතල ඇල්පයින් දේශගුණයක්.ඈත කෙළවරක් නොපෙනෙන කඳු මුදුන් සීතල හිම තට්ටුවකින් වැහිල තියෙනව.පුංචි පුංචි පර්නාංග , මිවන ශාක ගස්කඳන් වහගෙන ජිවත් වෙන්න සටනක් ගෙනියනව.බිම තැනින් තැන තද පාට ,ගොඩක් ලස්සන මල් පිපිල තියෙනව.සමහර විට ඒව දවස් ගණනක් යනකන් අල්තායි බිම ලස්සන කරන්න කැපවෙලා ඉන්නව.


වලාකුළු වලට පෙම්කරන්නෝ
            මම අල්තායි වලට ළඟා වෙනකොට එහෙට වියලි කාලය උදා වෙලා.
ඇඟ මිදෙන තරං සීතලකින් හැම අතටම හුලන් හමනව.ඒත් කිසිම ගානක් නැතුව සයිබීරියන් අයිබෙක් මුවො තමන්ගෙ උදේ කෑමවේල භුක්ති විඳිනව.ගමනෙන් හොඳටම හෙම්බත් වෙලා හිටපු මම කොහෙට හරි වෙලා ගිමන් හරින්න තීරණය කළා.

මම මේ පලාතට ආවේ විශේෂ හේතුවකට. ඒ කඳුකර දඩයක්කරුවන් මුණගැහෙන්න. ඔවුන් තමන්ගෙ  සාමාන්‍ය ජිවිතයෙන් ඈත් වෙලා මීටර් හාරදාහක්විතර උසට පැතිරෙන කඳුවැටියක ,තැන් තැන් වල පැතලි වහල තියෙන කළුගල් ගෙවල් ගදාගෙන වලාකුළු වලට පෙම් කරමින් ජිවත් වෙනව.එක ඔවුන්ගේ සභ්‍යත්වය වෙන්න ඇති.නමුත් ඒ ජිවිත , ජිවන  බර ඕනෙවට වඩා ගන්න අපිට වඩා දියුණුයි , පැහැදිලියි කියල මට හිතෙනව.
කඳුකර දඩයක්කරුවන් තරමක් මිටි කොකේසියානු  මිනිසුන් කොටසක්.ඉහල උන්නතාංශ වල ජිවත් වෙන මිනිසුන්ට පොදු , උදරයට සාපේක්ෂව විශාල වුනු පපු පෙදෙසක් මේ මිනිසුන්ගේත් දකින්න පුළුවන්.


අල්තායි කඳු වැටිය (ජෛවවිවධත්වය)
අල්තායි නැගනහිර හා මධ්‍යම ආසියාව හරහා විහිදුනු කඳුවැටියක්.මේ කඳුවැටිය තමන්ගේ වයඹ දිග මායිමේදී සායාන් කඳුවැටිය මුණගැහෙනව.මීටර් 2000ත් 2400ත් අතර උසකින් ආරම්භ වෙන බොහොම සුන්දර හිම පටියක් , රළු වලගොඩැලි  පිරුණු අල්තායි මුදුන් හරහා ගමන් කරනව.
අල්තායි කලාපය නානාප්‍රකාර සත්ව විශේෂ වලට අපුරු නිවහනක් වෙලා.මේකට ප්‍රධානම හේතුව විදිහට දකින්න පුළුවන් වෙන්නෙ , මේ කලාපය හරහා පැතිරුණු විවිධ, වෙනස් වන සුළු දේශගුණය.
මේ කඳුවැටියේ දල ප්‍රපාතාකාර බෑවුම් සයිබීරියානු අයිබෙක්ස් සතුන්ගේ නිත්‍ය වසභුමියක්.ඒ වගේම විරල සත්ව විශේෂ විදිහට හඳුන්වන්න පුළුවන් ආරගාලි (ආසියානු වාසි වල බැටළුවෙක්) ,වපිටි (මුවන් විශේෂයක්) , මූස්(උතුරු ඇමරිකානු ගෝනෙක්) , සයිබීරියානු කස්තුරි මුවන් වගේ සත්තු , මේ දල ප්‍රපාතාකාර බෑවුම් තුල ජිවිතේ ගෙනියනව.විශාල ප්‍රමාණයේ විලෝපිකයින් විදිහට හිම දිවියන් (කොටියන්?) මේ පරිසරයේ සමතුලිත බව රකින්න කැපවෙලා සිටිනව.
සයන්ටිස්ට් සඟරාව කියන විදියට , අල්තායි හි  ක්ෂීරපායින් ගේ වෙනස්කම් අයිස් යුගයේ සිටම ඇතිවූවක්.මේ ලක්ෂණය ලෝකයේ අනිත් කොහෙටවත් වඩා අල්තායි වල දකින්න පුළුවන් බවක්  තමයි ඔවුන් අඟවන්නෙ..2010 අවුරුද්දේ දෙනිසොවා කියන ගුහාව ඇතුලෙ කරපු කැනීම් වලින් ලැබුණු අවුරුදු 50000 ක් පැරණි මානව ෆොසිල, මේ පළාත ලෝකයේ පැරණිම නව මානව අවශේෂ ලැබුණු තැනක් ලෙස ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වුණා. ජාන කේත සැසඳීම මගින් මේ මිනිස්සු සම්පුර්ණයෙන්ම නොවුනත් යම් ප්‍රමාණයකින් උතුරු ඇමරිකාව දෙසට සංක්‍රමණය වුන බව පසු කාලෙකදී සොයාගැනුන.මේ මොන දේ කොහොම වුනත් , මේ මිනිසුන් මේ කටුක පරිසරය ඇතුලේ ජිවත් වුනු විදිය තවමත් ප්‍රෙහෙලිකාවක්.

පාවෙන ජිවිත
  මේ පළාතෙ ජිවත් වෙන මිනිසුන්ගෙ ප්‍රධානම ජිවනෝපාය තමයි  සතුන් ඇති කිරීම නැතිනම් සතුන් දඩයම.සියගානක් එළුවන් නැත්නම් බැටළු පට්ටියක් අරන් උදේ පහළියෙන්ම ගෙදර ගෘහ මුලිකය අල්තායි වෙත පිවිසෙනව.මේ වැඩේට උදව් වෙන්නෙ ඔහුගෙ කිකරුම කකුල් හතරේ සඟය.
තමන්ගෙ බැටළු නැත්නම් එළු පට්ටිය අරගෙන පිවෙසෙන ගොපල්ල හරියට හීන ලෝකෙකට පිවිසුනා වගේ හැලහොල්මනක් නැතිව ගල් තලාවක් උඩ වැතිරිලා  මොකක්දෝ නොදන්න බාසාවකින් ගීතයක් මුමුණනව. ඔහු ලඟින්ම වැතිරිලා ගිමන් හරින ඔහුගෙ කකුල් හතරේ කීකරු සඟය කන් දෙක උල් කරගෙන ඒ දිහා බලන් ඉන්නව. හැමදාම ගෙවෙන මේ ජිවිත ඇතුලේ අවුරුදු ගානක් තිස්සේ ඔවුන් පාවෙනව. කාත් කවුරුවත් නැති සුන්දර අහස දිහා බලාගෙන ඔවුන් අවුරුදු ගණනක් ජිවත් වෙනව.

යෙලික්බයෙව්(Yelikbayev) හමුවීම
ඉතින් මම හිතුව පාවෙන ජිවිතයක් විඳින ඒ වගේ මිනිසෙක් ව හම්බවෙන්න.
යෙලික්බයෙව් , ඔහු විනෝදකාමී දඩයක්කාරයෙක්. මට තවමත් තෙරුම් ගන්න අපහසු වුනත් ඔහුගේ ජිවන වෘත්තීයත් ඒකම තමයි. සාමාන්‍යයෙන් යෙලික්බයෙව් ගෙ දඩයම් කුලකය පුංචි කුරුල්ලන්ගේ ඉඳන් මධ්‍යම ප්‍රමාණයේ හොඳින් වැඩුණු වල් නරියෙක් දක්වා පැතිරී තියනව.ඔහුගේ මේ දඩයම් කුලකයට කාලාතුරකින් හොඳින් වැඩුණු මස්ක් වර්ගයේ මුවන් පවා අයත් වෙනව. යෙලික්බයෙව් ගෙ දඩයම් සහායකයා විදිහට සිටින්නේ  ෆැල්කන් වර්ගයේ විශාල උකුස්සෙක්!. අපිට මේක අලුත් අත්දැකීමක්  වුනත් , මේක  මේ පළාතට  සාමාන්‍යය දෙයක්.
අල්තායි නොමැඩ්වරුන් අති දක්ෂ  උකුස්සන් හිලෑ කරන්නන් පිරිසක්. අවුරුදු දහස් ගණනක් පාරම්පරිකව පැවත ආ දැනුමක් තුලින් , තවමත් ඔවුන් ඔවුන්ගේ අපුරු ජිවිතයට පනදෙනව.ඔවුන්ගේ මුතුන්මිත්තන් පනපොවපු උකුසු භාෂාව , උකුස්සන් රැකබලාගැනීමේ ක්‍රමවේද , උකුස්සන් අභිජනනය කිරීම ; මේ හැම දැනුමක්ම ඔවුන් තවමත් අනාගත පරම්පරා වලට යාවත්කාලින කරනව. ඔවුන්ගේ දරු මුණුබුරන් සාමාන්‍ය සාම්ප්‍රදායික ධනවාදී ආර්ථිකයට හිනා වෙමින් ඒ අපුරු දැනුම රැකගන්න පෙළගැසෙනව.


   ෆැල්කන් උකුස්සන් පුහුණු කීරීම
උකුස්සන් පුරුදු කිරීම කුරුළුගොයින් පුරුදු කිරීමේ තවත් වැඩිදියුණු වුනු අවස්තාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් සැලකෙන්නෙ.මේ විශේෂාංගය මුලින්ම ලොවට හඳුන්වා දීම කරල තියෙන්නෙ , යුරේසියානු ස්ටෙප්ස් තෘණභුමි වල ජිවත් වුණු ,යුදෙව් තුර්කිවරුන්.එහෙම වුනත් තුර්කි වරුන් වඩාත්ම සමත්කම් දක්වල තියෙන්නෙ පෙරී කුරුළුගොයින් පුරුදු කිරීම පිළිබඳව.  

ෆැල්කන් වර්ගයේ උකුස්සන් සාමන්‍යය ප්‍රමාණයේ උකුස්සෙක් වගේ දෙගුණයක පමණ පිහාටු පළලක්(wingspan)(105-129cm) තිබෙන කුරුළු  විශේෂයක්. මේ කුරුල්ලන් අතරිනුත් විශාලම  වර්ගය ජිවත් වෙන්නෙ ඊසාන දිග අල්තායි කඳු මුදුන් වල. මොවුන්ගේ සමේ පැහැයත් පුල්ලිමය ස්වභාවයත් අනිත් උකුස්සන්ට වඩා වැඩි තීවෘරතාවකින් විහිදී පවතිනව. මොවුන්ගේ ඇතිවීම ගැන මුලින් කරපු පර්යේෂණ වලින් සොයාගැනුනේ ෆැල්කන් උකුස්සන් සාකර්(saker) උකුස්සන් සහ විශාල උකුස්සන් (gyrfalcon) අතර   දෙමුහුන් විශේෂයක් බව.නමුත් පසු කලකදී ඔවුන් වෙනත් විශේෂයක සාකර්(saker) උකුස්සන් විශේෂයක් බව සොයාගැනුන.

ෆැල්කන් උකුස්සන් සාමාන්‍ය කුරුළුගොයින්ට වඩා , නොනැවතී තිරස්ව තමන්ගේ ගොදුර ලුහුබැඳ යාමට දක්ෂයින් කොටසක්.බොහෝවිට ඔවුන්ගේ ගොදුරු බවට පත්වන්නෙ කුරුල්ලන් සහ මුසික(rodents) වර්ගයේ සතුන්....   
                    [මතු සම්බන්දයි..... තව දවස් පහකින් විතර ]